social-media-loans

සමාජ මාධ්‍ය හරහා ක්ෂණික ණය ලබාදීමේ ක්‍රමවේද ඉහළ යමින් තිබෙන බවත්, මේ හරහා ණය ලබාගත් අතිවිශාල පිරිසක් දැඩි ලෙස අසරණ වී සිටින බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සදහන් කරයි.

නීතිවිරෝධී ආකාරයට මෙම කටයුතු සිදුකරන නිසා සමාජ මාධ්‍ය හරහා ණය ලබාදීමේ කටයුතු වහාම නවතා දමන ලෙසට මහා බැංකුවෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා සදහන් කළේය.



මෙම ක්‍රමය ඔස්සේ ණය ලබා ගැනීමේදී රු.10000ක ණය මුදලක් ඉල්ලුම් කරන පිරිස්වලට හිමිවන්නේ රු.7000ක මුදලක් පමණක් බවත්, ඉතිරි රු.3,000ක මුදල දින 10ක කාලයක පොලී සඳහා රදවා ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය. සෑම රුපියල් දසදහසකටම රුපියල් තුන්දහසක මුදලක් පොලී මුදල් ලෙස රඳවා ගන්නා බවත්, ණය ලබාගැනීමට අදාළ තොරුතරු ලබාදීමේදී ණයකරුවත් නොදැනුවත්ම ජංගම දුරකථනයේ තිබෙන දුරකථන අංක පවා ලබාගන්නා බවට වාර්තා වන බවත් සදහන් කළේය.

ණය ලබාගෙන දින 10ක් තුළ ගෙවීම සිදුකිරීමට නොහැකි වුවහොත් ජංගම දුරකතනයෙන් ලබාගත් දුරකථන අංක කිහිපයකට කතාකර ණය ලබාගත් පුද්ගලයාගේ නම පවසා අදාළ මුදලට ඇපකරුවකු ලෙස නම් කර තිබෙන බවට දුරකතන අංකවලට කතාකර දැනුම් දෙන බවද සභාපතිවරයා පවසා සිටියේය.



මීට අමතරව, සමාජමාධ්‍ය හරහා ණය ලබා ගැනීමේදී ජාතික හැඳුනුම්පතේ පිටපතක් ලබාගැනීම අනිවාර්යෙන්ම සිදුකරන බවත්, දින 10ක් තුළ ණය ගෙවාගැනීමට නොහැකි වුවහොත් සමහර අවස්ථාවල ජාතික හැදුනුම්පතේ පිටපත සමාජ මාධ්‍යයට මුදාහැරණය ලබාගත් පිරිස් අපහසුතාවන්ට පත්කරන බවත් හෙතෙම සඳහන් කළේය.

අදාළ ණය ලබාදීම වැඩි වශයෙන් විදේශිකයන් මැදිහත් වී සිදුකරන බවට වාර්තා වන බවත්, මේ ආකාරයට ණය ලබාදී අධික පොලී මුදලක් ලබාගැනීමට කටයුතු කළද, ඊට අදාළව රජයට කිසිදු බදු මුදලක් පවා හිමි නොවන බවත්, ජනතාව ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්ව තිබෙන නිසා ක්ෂණික ණය ලබා ගැනීම සදහා යොමු වෙමින් තිබෙන බවත් පවසා සිටියේය. මේ නිසා ජනතාව සමාජ මාධ්‍ය හරහා ණය ලබාදෙන ස්ථානවලින් ණය ලබා ගැනීමට යාමෙහිදී ඒ පිළිබඳව දැඩි ලෙස සොයා බැලීම් සිදුකළ යුතු බවත් පොතුපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-  ඉන්දික හේවාවිතාරණ