south-africa-minister-robbed

සඳුදා දිනයේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රවාහන අමාත්‍යවරිය සහ ඇගේ පුද්ගලික ආරක්ෂකයින් ගමන් ගත් රථය,  තුවක්කුකරුවන් කිහිප දෙනෙක් විසින් මංකොල්ල කා ඇති බව දකුණු අප්‍රිකානු පොලිස් සේවය (SAPS) වාර්ථා කරයි.
සින්දිසිවේ චිකුංගා නම් අමාත්‍යවරිය සඳුදා ජොහැන්නස්බර්ග් නගරයට දකුණින් පිහිටි , වොස්ලූරුස් සහ හයිඩෙල්බර්ග් අතර N3 අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිදු වීමට මුහුණ දී තිබේ.  

අඟහරුවාදා පාර්ලිමේන්තු කමිටු විභාගයක් අතරතුර මෙම සිද්ධිය විස්තර කරමින් අමාත්‍යවරිය පැවසුවේ “එම අත්දැකීම ඉතා කම්පන සහගත ” දෙයක් වන බවයි.



චිකුංගා පැවසුවේ එය සිදු වූයේ අලුයම 3.30 ට පමණ බවයි. ඇය ගමන් කළ මෝටර් රථයේ රෝදයක ඇති වූ සිදුරක් නිසා රථය මදකට නතර කර තිබේ.  ඇයගේ ආරක්ෂකයින් විසින් රෝදය මාරු කරන තුරු ඇය මෝටර් රථය තුළ සිට ඇති අතර, එක්වරම ඇය ජනේලයෙන් පිටත බැලූ විට, තුවක්කු අතැතිව මිනිසුන් කිහිප දෙනෙක් ඒවා  “ආරක්ෂකයින් දෙසට යොමු කරන” බව ඇය දැක තිබේ.

චිකුන්ගා පැවසුවේ උපකාරය සඳහා ඇමතීමට ඇය ඇගේ දුරකථනය ඉවතට ගැනීමට උත්සාහ කළ නමුත් "කිසිවක් කිරීමට පෙර ඔවුන් දොර විවර කර ඇයගේ හිසට ගිනි අවියක් එල්ල කල" බවයි.

හොඳින් ඇඳ පැළඳ සිටි මිනිසුන් තිදෙනෙකු ඇයට මෝටර් රථයෙන් බැසීමට අණ කළ අතර පසුව මුදල් ඉල්ලා සිටි බව ඇය පැවසුවාය.

කණ්ඩායම ඇගේ ආරක්ෂකයන්ව සෝදිසි කිරීමෙන් පසු,  ඇගේ මුද්ද ගැනීමට උත්සාහ කර තිබේ.

නමුත් ඇය එය වැළැකිවීමට උත්සහා කර තිබුණේ , ඇගේ නැසීගිය සැමියා සහ ඇය අතර ඇති එකම දෙය” එය වන බැවිනි.

SAPS පැවසුවේ, කොල්ලයේදී පොලිස් සේවා පිස්තෝල දෙකක් සහ පෞද්ගලික බඩු බාහිරාදිය සොරකම් කර ඇති බවයි. සිද්ධියෙන් පසු තුවක්කුකරුවන් සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර වින්දිතයින්ට සහය සහ උපදේශන ලැබෙමින් පවතින බව SAPS පවසයි.

දකුණු අප්‍රිකාව දිගු කලක් තිස්සේ තුවක්කු ප්‍රචණ්ඩත්වය සමඟ පොරබදමින් සිටින අතර මේ වසරේ රට තුළ සමූහ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. ප්‍රාදේශීය පොලිස් දත්තවලට අනුව ලොව ඉහළම මිනීමැරුම් අනුපාතවලින් ඉදිරියෙන් සිටින රටක් බවටද දකුණු අප්‍රිකාව පත්ව තිබේ.

අප්‍රේල් මාසයේදී දකුණු අප්‍රිකානු ක්වාසුලු-නටාල් පළාතේ සිටින තුවක්කුකරුවන් පිරිසක් විසින් 13 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු 10 දෙනෙකු ඝාතනය කරන ලදී . එසේ මියගිය පිරිස එකම පවුලේ සාමාජිකයන් බව වාර්ථා වේ.