sri-lanka-cricket-parliament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා 08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය දන්වා සිටියේ හෙට උදේ 9.30 සිට සවස 5.30 දක්වාම පාර්ලිමේන්තුවේ 'දූෂිත ක්‍රිකට් ආයතනයේ කටයුතු ' ගැන විවාදයක් පවත්වන බවත් ඒ සම්බන්ධ ඡන්ද විමසීම සවස 5.30 ට පවත්වන බවත්ය.

මේ අතර අද (8) සවස වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී ඇති බවයි.


ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ කෙටුම්පත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කැබිනට් අනුකමිටුව වෙත ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විනිසුරු KT චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් මීට පෙර එම කෙටුම්පත සකස්කර තිබුණි.

රජය පැත්තෙන් ඒ දේවල් සිදුවෙද්දී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ තමන් සම්බන්ධ විගණකාධිපති වාර්තාවක් පදනම් කරගෙන දූෂිත යයි හඳුන්වා ඇති මුත් එම වාර්තාවේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් හෝ දූෂණ මේවා යයි සදහන් නොවන බවත් ඇත්තේ නිර්දේශ පමණක් බවත්ය.
මේ අනුව ඔවුන්ද තම නිර්දෝෂී භාවය වෙනුවෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන බව අද කියා තිබේ.


ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එම සාමාජිකයන් තිදෙනා වන්නේ,
එස්.අයි.ඉමාම් - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
රෝහිණි මාරසිංහ - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
අයිරාංගනී පෙරේරා - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු
 
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබා දී තිබේ. විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම.
 ඔවුන්ට පවරා ඇතැයි ක්‍රිකට් ආයතනය පවසයි.