sri-lanka-cricket-shammi-roshan

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවීම තමන්ට දැනගන්නට ලැබී ඇති පරිදි වත්මන් දූෂිත කණ්ඩායමේ කුමන්ත්‍රණයක් බව ඇමති රොෂාන් රණසිංහ ගුවන් විදුලි නාලිකාවක් අමතමින් අද (11) ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ මේ ගැන කිසිදු ලිඛිත දැනුම්දීමක් අයිසීසීය තවම සිදු කර නැති බවත් එම තීරණය විමතියට හේතුවක් බවත්ය.
මීට මාස 5 කට පෙර අයිසීසීය වෙත දූෂිත කණ්ඩායම ලිපියක් ලියමින් දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනාවක් ගොනු කළ බව කියන ඇමතිවරයා එම අවස්ථාවේදී ඒ ගැන කරුණු සොයාබලන්නට අයිසීසී නියෝජිතයින් ලංකාවට පැමිණි බවත් කරුනු සොයා බැලීමෙන් අනතුරුව කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැති බව ඔවුන් තහවුරු කළ බවත් සමගියෙන් සිටින්නැයි දන්වා පිටව ගිය බවත් ඇමතිවරයා මතක් කළේය.


ඉන් අනතුරුව දූෂිත කණ්ඩායමේ දූෂණ ගැන හෙළිදරව් කෙරෙන විගණකාධිපති වාර්තාව තමන්ට ලැබුණ පසු එම වාර්තාව දක්වමින් මෙම කන්ඩායම ඉවත් කරන ලෙස තමන් දිගින් දිගට අයිසීසීයට ලියුම් යැවූ බව කියන ඇමතිවරයා ඒ කිසිවකට පිළිතුරක් හෝ එවන්නට අයිසීසී බලධාරීන් කටයුතු නොකළ බවත් දූෂිතයින් සමග පවතින හිතවත්කම මත එසේ සිදුවන්නට ඇතැයි තමා සිතන බවත් පැහැදිලි කළේය.

 එසේ සිදුවී තිබියදී එක්වරම දේශපාලන මැදිහත්වීමක් යයි දක්වමින් මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම විමතියට හේතුවක් මෙන්ම අසාධාරණ තීරණයක් බව කියන ඇමතිවරයා මේ ගැන ඉදිරියේදී සිදුකරන ක්‍රියා පිළිවෙත් දෙකක් පවතින බව පැහරදිලි කළේය.

එකක් වන්නේ මෙම තීරණය ලිඛිතව ලැබුණ පසු එයට එරෙහිව අභියාචනයක් යොමු කිරීම බවත් එයින්ද විසඳුමක් නැතිනම් ජාත්‍යන්තර අධිකරණයට ගොස් සාධාරණය පතන බවත් කීය.
දෙවන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවට තමන් පිහිටවූ අතුරු කමිටුව බලාත්මක කරන්නට අධිකරණය වෙත සඳුදා යන බව කියන ඇමතිවරයා දැනට අභියාචනාධිකරණය අතුරු තහනමක් පනවා ඇති බැවින් එය ඉවත් කරගතයුතු බව කීවේය.

යම් හෙයකින් අභියාචනාධිකරණය එයට එකග නොවේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද කීය.
ඉන් පසු එය නැවත බලාත්මක වුවහොත් අයිසීසී අනුමැතිය නැතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය ඇරඹිය හැකි බව පෙන්වා දෙන ඇමතිවරයා තමන් අර්ජුන රණතුංග මහතාට ක්‍රිකට් පරිපාලනය භාරදී මාස 06ක කාලයක් තුළ නව ක්‍රීඩා පනතක් සම්මත කරගෙන අලුත් නිලවරණයකට යන බව කීය.
ඒ අතරතුරදී සියලුම ක්‍රිකට් සංගම් විසුරුවා හැරීමට ද තමන් ක්‍රියාකරන  ඇමැතිවරයා  කීය.

මෙම නීති කටයුත්තේ දී තමන්ට නීතිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බව කියන ඇමතිවරයා
එම නිසා තමන් පුද්ගලික නීතිඥ සහාය ලබා ගන්නා බව ද ක්‍රිකට් ආයතනයේ සල්ලි විසින් ඕනම මිනිහකු හෝ ආයතනයක් අල්ලා ගන්නා බව ද සඳහන් කළේය.



මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීම සඳහා වත්මන් ක්‍රිකට් දූෂිත පරිපාලකයන් කොළඹ හෝටලයකදී පෙරේදා (09 දා) රාත්‍රී සාකච්ඡා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) සඳහන් කර තිබුණි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් එළවා දැමිය යුතු බවට විශේෂ යෝජනාවක් සම්මත කිරීම පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් කුලී ගෙවන සිනමන් හෝටලයේ ඇති කාර්යාල කාමරයක හොර ගජමිතුරන් කණ්ඩායමක් එකට එකතු වී කෙසේ හෝ ඉන්දියාවේ ෂාට කතා කර පැය 72ක් ඇතුළත අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කරන බවට සාකච්ඡා කර ඇති බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 225 දෙනා ගනු ලබන පියවර කුමක් විය යුතු දැයි විපක්ෂ නායක එහිදී විමසා සිටියේය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් හොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කියා ද එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටි අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අමල් චින්තක මහතා සමග උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ගන්නා 15‌ දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බව පාර්ලිමේන්තුවේදී  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේය.පසුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද එම 15 දෙනා රටට හෙළි කළ යුතු බවද කියා සිටියේය.