sri-lanka-cricket-shammi

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ චෝදනා එල්ලවන පසුබිමක එහි ලේකම් මොහාන් සිල්වා අද දින සිය තනතුරින් ඉල්ලා අස්වූ නමුත් සභාපතිවරයා එසේ ඉල්ලා අස්වී නැතුවා සේම තමන් අත වරදක් නැති බව ඇඟවෙන ආකාරයට ලිපියක් ජනපති වෙත යොමු කර තිබේ. ලිපියට අනුව ඇමතිවරයාගේ බලපෑම් නිසා තමන්ට වැඩේ හරියට කරන්නට බැරි බව මැසිවිලි නගා තිබේ.





ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ.



ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස සමාජයෙන් පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමක ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය වෙත පදනම් විරහිත සහ සාවද්‍ය චෝදනා එල්ල කරන බව ද අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි.