sri-lanka-cricket-speaks

ක්‍රිකට් ආයතනය සමගින් ක්‍රීඩා අමාත්‍යවරයා ඉතා සුහදව කටයුතු කරමින් සිටියදී ඔහු හදිසියේම වෙනස් වූ බවත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව සිදුකරන ප්‍රකාෂවලින් ඔහුටත් වඩා කුපිත විය යුත්තේ අප බව විශේෂ මධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වැඩබලන ලේකම්වරයා,"පසුගිය වසර එකහමාර පුරාවට ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රිකට් ආයතනය ඉතා සුහදව කටයුතු කළත්, හදිසියේම එතුමාගේ දර්ශනය වෙනස් වුණා.

එතුමාට නොයෙකුත් විදියේ බොරු වැරදි සහගත තොරුතුරු ලබාදීමෙන් එතුමා සම්පූර්ණයෙන්ම නොමග ගිහින්. එතුමා සෑම අවස්ථාවකදීම ක්‍රෝධය හා වෛරය දනවන, ජනතාව කුපිතකරන කථා කියනවා. හරිනම් එවායින් එතුමාටත් වඩා කුපිත වෙන්න ඕන අපි.

එතුමා කියන්නේ අපි පට්ට හොරු, අපි ගණන් හදන්න බැරි තරමට හොරකම් කරන පිරිසක්ලු . අමාත්‍යතුමා අපි හොරු කියලා කියන්නේ විගණකාධිපති දුන්න වාර්තාවක් පදනකම් කරගෙන. නමුත් එහි කිසිම තැනක අපි හොරු, එහෙමත් නැත්නම් නීති විරෝධි ක්‍රියාකරලා තියෙනවා, දඩුවම් ලැබිය යුතු කාරණා තිබෙනවා කියලා සඳහනක් නැහැ.විගණකාධිපතුමා ලබාදි තිබෙන්නේ නිර්දේශ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට එක්ව සිටි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා,



"ශ්‍රී ලංකාවේ නීතිය අනුව කිසිම අයුරක අක්‍රමිකතාවක් හෝ අවභාවිතාවක් විධායක කමිටුව සිදුකරලා නැහැ. ඉකුත් මුදල් වර්ෂය සදහා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනයට ලක්කරනු ලැබුවා. එහි ක්‍රිකට් ඉතිහාසයේ පළමුවතාවට මූල්‍ය ප්‍රකාෂනවල ක්‍රියාකාරීත්වය මෙරට ගිණුම්කරන ප්‍රමිතිවලට අනුකූල බව දන්වා තිබෙනවා.අපිට 2016දී ලැබුණේ හිස් භාණ්ඩාගාරයක්, ණය කන්දක්, දැන් මේ ණය ගෙවලා, සල්ලිත් ඉතිරිකරලා ඉදිරියට කරගෙන යන වැඩසටහන්වලට සැලසුමුත් හදලා තිබුණා” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට එක්ව සිටි උප සභාසභාපතිවරයෙකු වන රවීන් වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටියේ, වත්මන් අර්බුධය සම්බන්ධයෙන් අයි.සී.සී.ය දැනුම්වත්කිරීමට කටයුතු කළාද යනුවෙනි. ඊට පිළිතුරු දුන් ඔහු, “අපි සාමාජික රටක් නිසා මේ සම්බන්ධයේ අපි අයි.සි.සී.ය දැනුම්වත් කළ යුතුයි. බොහොම පැහැදිලිව ඒ අය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව පත්වුණු විධායක කමිටුවක් ඉන්න තැනකදී, එයාලා දේශපාලනික වශයෙන් පත්කළ කමිටුවක් හමුවීමට කැමති නැහැ කියලා” යැයි පැවසීය.

සංජිව ධර්මසේන