sri-lanka-india-cricket
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන 07වැනි තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (02දා) පැවැත්වේ.  ඒ තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම වන ඉන්දියාව සමගිනි.



මේ දක්වා සහභාගි වූ සියලුම තරග ජයගෙන සිටින ඉන්දියාව, මෙම තරගයට ක්‍රීඩා කරන්නේ, අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමෙන් පසුවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට අවසන් පූරිව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට නම්, මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වේ. ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග 06න් 02ක් ජයගෙන 04ක් පරාජයට පත් වී ඇත.



ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා කළ තරග දෙස බැලීමේදී පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවලදී සාර්ථකත්වයට පත් වී ඇත්තේ, කිහිප දෙනෙකු බව පෙනෙයි. පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම හා ආරම්භයේදී කුසල් මෙන්ඩිස් දැක්වූ දක්‍ෂතා හැරුණු කොට, සමස්තයක් ලෙස අනෙක් කිසිදු පිතිකරුවෙකු සාර්ථකත්වයට පත් වී නොමැති බව පෙනේ. ඇෆ්ගනිස්තානය සමග තරගයේදී එය පෙනී ගියේය. එම තරගයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 30ක් හෝ 40ක් එක් වූවා නම්, යම්කිසි තරගයක් ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබිණි. මෙම තරගයේ ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 05ක් ලකුණු 51කට බිඳවැටීම ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාවට ළඟා වීම අඩපණ කළේය. ශ්‍රී ලංකාව නිවැරදි කර යුතු වන්නේ මෙම වරදයි.

විශේෂයෙන් අංක 06 ස්ථානයේ ක්‍රීඩා කරන ධනංජයද සිල්වාගේ පිතිකරණය තරගාවලිය පුරාම පහළ මට්ටමක තිබිණි. ඔහු ඉනිම් 06කදීම මේ දක්වා රැස්කර ඇත්තේ, ලකුණු 87ක් පමණි.

කෙසේ නමුත් ඔහුගේ ස්ථානය අද තරගයේදීද වෙනසක් විය හැකි යැයි උපකල්පනය කළ නොහැකිය. ඊට එක් හේතුවක් වන්නේ, එම ස්ථානයට ආදේශ කළ හැකි දුනිත් වෙල්ලාලගේ හෝ චාමික කරුණාරත්නද කිසිදු කැපී පෙනෙන පන්දු යැවීමක් හෝ පිතිකරණයක් නොපෙන්වීමයි.

ඉන්දීය කණ්ඩායම දෙස බැලීමේදී ඔවුන් එංගලන්තය සමග ක්‍රීඩා කළ කණ්ඩායම සමගින්ම මෙම තරගයද ක්‍රීඩා කළ හැකිය. එම තරගයේදී එංගලන්ත පන්දු යැවීම හා පන්දු රැකීම හමුවේ ඉන්දියාවේ ප්‍රබල පිතිකරණ බලඇණියම මෙල්ල විය. එහිදී සුපුරුදු පහරවල් එල්ල කිරීමට නොහැකි වීමෙන් ඉන්දීය මුල්පෙළ හා මැදපෙළ පිතිකරුවන් පීඩනයට ලක් වී දැවී යන ආකාරය දක්නට ලැබිණි. එනිසා ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට නම්, ආරම්භයේ සිට ලබාදෙන පීඩනය අතිශය වැදගත් වේ. එවිට ඉක්මනින් කඩුල්ලක් දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාවක් ලැබෙනු ඇත.



ඉන්දීය දකුණත් පිතිකරුවන්, වමත් වේගපන්දු යවන්නන් හමුවේ නැවතත් අසාර්ථක වීම එංගලන්තය සමග තරගයේදී දක්නට ලැබිණි. එබැවින් අද තරගයේදී ඩිල්ෂාන් මදුෂංකට විශාල කාර්යභාරයක් ඇත. ඔහුගේ පීඩනය දිගටම පවත්වා ගැනීමට ඔහුගේ සහායක පන්දු යවන්නා ලෙස ක්‍රියා කරන කසුන් රාජිතටද වගකීමක් ඇත.

කාසියේ වාසිය දිනාගතහොත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තෝරාගැනීම සුදුසු යැයි අපට හැඟී යයි. මන්ද ප්‍රබල ඉන්දීය පන්දු බලඇණිය හමුවේ පීඩනයකින් තොරව පන්දුවට පහරදීමේ අවස්ථාව එවිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබේ.

 ඕෂිත වරකපිටිය