“ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නාක් මෙන්” ශ්‍රී ලංකාවටද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමෙන් වැළකී සිටීමට නම් බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන තරගය අනිවාරේයන්ම ජයගත යුතුව තිබේ. තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නවසීලන්තයට එරෙහිව ලබන 9 වැනිදා බැංගලෝර්හිදී පැවැත්වෙන තරගය ජයගැනීමද අනිවාර්ය වී තිබේ. එම තරග දෙකම ජයගත්තද, මේ වන විට පත්ව ඇති තත්වය අනුව අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සෙසු කණ්ඩායම් ඔවුන්ගේ ඉතිරි තරග දිනන පරදින ආකාරය දෙස බලා සිටීමටද සිදුව තිබේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර ඕස්ට්‍රේලියාවටද ඒ සඳහා අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණයක් පමණි. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුදුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වීම සඳහා නවසීලන්තය, පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය යන රටවල් 5 ටම තවමත් සුළු වශයෙන් හෝ අවස්ථාව පවතී.



කෙසේ වුවත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් එංගලන්තය හමුවේ පාකිස්ථානයත්, ඕස්ට්‍රේලියාව සහා දකුණු අප්‍රිකාව හමුවේ ඇෆ්ඝනිස්ථානයත්,  පරාජයට පත්විය යුතු අතර නෙදර්ලන්තයද එංගලන්තය හෝ ඉන්දියාව හමුවේ පරාජයට පත්විය යුතුය.  ශ්‍රී ලංකාව ඉතිරිව ඇති තරග දෙකම ජය ගෙන, ඉහත කී සියල්ල එලෙසින්ම සිදුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවීසීමට හැකි වනු ඇත.

මේ වන විට දිල්ලි නුවර පවතින දැඩි වායු දූෂණ තත්වය හේතුවෙන් ඉකුත් සෙනසුරාදා (4 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසිය අතහැර දැමීමට සිදු වූ අතර පවතින තත්වය මත දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වීම නුසුදුසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කිරීමත් සමග එම පුහුණු සැසිය අවලංගු කිරීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබිණ.



කෙසේ වුවත් තරගයට පෙර දිනයේදී, එනම් ඊයේ (5 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි පුහුණු සැසියට සහභාගි වූ අතර එම පුහුණු සැසිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ මෙම වසර තුළ කිහිපවරක්ම බංග්ලාදේශයට එරෙහිව තරගවැදී ඇති බැවින් ඔවුන්ගේ දක්ෂතා මෙන්ම දුර්වලතා පිළිබඳවද තම කණ්ඩායම මනා අවබෝධයකින් පසුවන බවය.

“ අපි පහුගිය ටිකේ බංග්ලාදේශයත් එක්ක සෑහෙන්න තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළා. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න නම් අපි මේ තරගය ජයගන්නම ඕන. දිගින් දිගටම ඔවුන් එක්ක ක්‍රීඩා කරපු නිසා මේ තරගෙදි ලොකු වෙනසක් කරන්න වෙයි කියලා මම හිතන්නේ නෑ. නායකයා විදියට කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා බංග්ලාදේශය එක්ක ක්‍රීඩා කරන්න අපිට අමුතුවෙන් සූදානම් වෙන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ." යැයි මෙන්ඩිස් පැවසීය.

 ශානුක අරවින්ද දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට..