stat-report-2023

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය. ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු අතර, මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා

සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ටැබ් පරිගණක සහ අන්තර්ජාලය භාවිත කිරීමයි.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර, අවසන් වරට මෙම සංගණනය පවත්වනු ලැබුයේ 2012 වසරේදීය. ශ්‍රී ලංකාවේ නීතිමය පදනමක් මත පැවැත් වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය විය.

ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබාදීම, සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගෝලීය ස්ථාන නිර්නායක (GPS පාඨාංක) ලබාගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඩිජිටල්කරණය කරන ලද (Digitized) සිතියමක් ලබාදීම මෙම ජන සංගණනයේ දී සිදුවේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අංජුල මහික වීරරත්න