sugar-rice-shortage

රටේ පවතින සීනි හා සහල් හිඟය විසඳන්නට තමා ගත් පියවර ඊයේ විෂය භාර ඇමතිවරයා සඳහන් කළේය.
මේ වනවිට සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමටත් වැඩි මිලට සීනි අලෙවි කිරීමට වෙළෙඳුන්ට අවසර ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (20) පස්වරුවේ පවසා තිබේ.



විශේෂයෙන්ම ශත 25ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වනවිට ගණනය කරමින් සිටින බවත් එම සීනි තොග අද (20) සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් රජයට ලබා ගන්නා බවත් ඇමති නලීන් ප්‍රනාන්දු සඳහන් කරයි.



ශත 25ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා රුපියල් 275ක පාලන මිලට අළෙවි කරන බවත් එම වැඩපිළිවෙළත් සමඟ පාලන මිල අවශ්‍ය නොවන බවත් රුපියල් 50ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත්, සහල් ආනයනය කිරීමේ කටයුතු ඊයේ (20) සිට ආරම්භ කරන
බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.



ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කිරීමටත්, උත්සව සමයේ තවදුරටත් සහල්
අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩිකිරීමට අපේක්ෂා කරන බවත්
අමාත්‍යවරයා පැවසුවේය.

තවද අමාත්‍යවරයා පැවසුවේ රුපියල් 260ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වන විට
රුපියල් 300ත් 310ත් අතර මිලක අළෙවි වන බවයි.

මෙරට ප්‍රධාන සහල් ව්‍යාපාර ආයතන තුනක් මෙසේ විශාල වශයෙන් සහල් මිල ඉහළ දැමීමට මූලික
කටයුතු කරන බවත්, එම තත්ත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්‍ෂණයක් පවත්වමින්
සිටින අතර එහි ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී නිකුත් කරන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත්
සඳහන් කළේය.