sugar-tax-2020

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත්, රටට බදු මුදල් අහිමිවීමත් පිළිබඳ අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පෙරේදා (15දා) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුවූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබිණ.



2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇත. ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති හෙයින් ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කොට දේශීය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

එසේම මෙරටට තිරිඟු ආනයනය කොට පිටි සකස්කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මාස කිහිපයකින් තිරිඟු පිටි සඳහා රු.16ක බද්දක් පැනවීමත් එමගින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීමත්‘ හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහන නොලැබී යන බවත් ඒ මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් 1 දින සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8,500ක් පමණ ආනයනය කොට ඇති බවත්, ඉන්පසු සීනි බදු රු.50 දක්වා වැඩි වීම සිදු වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් මාසයකදී සීනි ගෙන්වා  ඇත්තේ ටොන් 2000ක ප්‍රමාණයක් වුවද, බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩි වන බවට තොරතුරු ආනයනකරුවන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතු වන බවද මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කර ගන්නා ලෙස නිර්දේශ කෙරින .


දිනේෂ් සමරකෝන්