sugar-tax

සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයන් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් පමණක් බව ද හෙතෙම කීවේය.



සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද? කිසිවෙක් මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පක්ෂණයක් පැවැත්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය,

"සීනි වංචාව ගැන අපි එදා හඬ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬනගන්න කටයුතු කරනවා. අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය හොයලා බැලිය යුතුයි.



සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩ බෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩි කරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයන්ට යන්නේ කොහොමද කියන එකයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එකටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොට මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ? අපි අයවැවෙන් පඩි වැඩිකරන්න සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා.

ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්කාලා බඩු ටික ගේනවා. බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගා ගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ.



එහිදී මේ සීනි බදු වැඩි කිරීම ගැන කවුරු හරි දැනන් හිටියාද? මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. කණ්ඩායමක් මේ බදුවල සිදුවෙන වෙනස්කම්වලින් ආදායම් හොයන්න කටයුතු කරනවා. ඒ නිසාමයි ජනාධිපතිතුමා සීනිවලට උපරිම සිල්ලර මිලක් දැම්මේ. ඒ තීරණයත් එක්ක මේ බදු වැඩි කිරීමෙන් අයුතු ලාභ ලබන්න බැරි වෙනවා.”
-නවෝද්‍යා පවනී.