tax-issues-liquer-company

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසුවේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීම ද තහනම් කළ බවයි.



හිඟ බදු දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.මත්පැන් නිෂ්පාදන ආයතන පහක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණ ද තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින් වෙළෙඳපොළේ මත්පැන් හිඟයක් ඇති නොවන බවද ඔහු කීවේය.

මේ අතර, මත්පැන් නිෂ්පාදන ආයතන ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් කෝටි හැට හයක් පමණ වේ. මෙම සමාගම් නොගෙවූ හිඟ බදු මුදල්වලට සියයට තුනක අමතර බදු මුදලක් අයවීම හේතුවෙන් ඔවුන්ගේ බදු මුදල් වල ප්‍රමාණය තවත් ඉහළ ගොස් ඇති බව සුරාබදු ආරංචි මාර්ග වලින් පැවසේ. දෙපාර්තමේන්තුව කියන මුදල ගෙවීමට කැමති දැයි සාකච්ඡා කරගෙන යන බවත් සමාගම්වලට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙන්නේ ඉන් පසු බවත් සමන් ජයසිංහ මහතා පැවසීය.
සුජිත් හේවාජුලිගේ