ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකුට පහර දුන් බව කියන රැඳවියන් දෙදෙනකු ත්‍රිකුණාමලය, වරාය පොලීසිය විසින් සැකපිට පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබ ඇත.බන්ධනාගාරයේ දී පහර කෑමකට ලක්වූයේ යැයි කියන එම පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබා පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැර නිවසේ සිටිය දී පෙරේදා මියගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම සැකකරුවන් දෙදෙනා සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටියේ යැයි පොලිසිය පවසයි.

රිමාන්ඩ් බන්ධනාගාර ව සිටි පුද්ගලයාට පහර දුන් තවත් රැඳවියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පුද්ගලයා ද අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටින අයෙකි.මෙසේ මිය ගොස් ඇත්තේ ඇත්තේ සේරුනුවර, දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත කුමාර නමැති හතළිස් තුන් හැවිරිදි අයෙකි. මෙම පුද්ගලයාට රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දී පහර දුන්නේ යැයි කියන තවත් රැඳවියන් පස් දෙනකු ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුහු තවමත් ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වන අය වෙති.

එම රැඳවියන් පස් දෙනාට එරෙහිව ද නීති මගින් කටයුතු කිරීමට වරාය පොලීසිය පියවර ගෙන ඇත. මියගිය පුද්ගලයා කසිප්පු නඩුවක් සම්බන්ධයෙන් ඇප මුදල් ගෙවාගත නොහැකිව අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී පසුගිය අගෝස්තු මස 10 වැනිදා ඔහු ඇද වැටී හිසට තුවාල සිදු වූ බව කියමින් බන්ධනාගාර නිලධාරීන් ඔහු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ ඔහුගේ පුතකු ත්‍රිකුණාමලය වරාය පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි  එමපුද්ගලයා පසුව නිවෙසට ගොස් සිටියදී පෙරේදා මිය ගොස් ඇත. ත්‍රිකුණාමලය වරාය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය