wellampitiya-school-tradegy

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ ඊයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් නිසා වයස 6 ක් වයසැති මල් කැකුළියකගේ ජීවිතය අහිමි විය. තවත් දරුවන් කිහිපදෙනෙකු තවම රෝහල් ගතවී සිටී.
දරු දැරියන් පිරිසක් ජල කරාමයෙන් වතුර බොමින් සිටියදී ජල නළ කරාම සවිකර තිබූ අඩි 5ක් පමණ උස අනාරක්ෂිත සිමෙන්ති බැම්ම ඊයේ පෙරවරුවේ කඩා වැටී තිබූ බව කියැවිණි.
එතැනට අතසෝදන්නට හා වතුර බොන්නට ආ එක ශ්‍රේණියේ නොදරුවන් ඉදිරියේ කඩා වැටුණු කොන්ක්‍රීට් බැම්ම එක් අයෙකුගේ ජීවිතය අහිමි කළ අතර තවත් සිසුවෙකු හා සිසුවියන් තිදෙනකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.
කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් හිසට තුවාල ලැබූ  සිසුවා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.

ෂෙහන්සා නෙත්සරණි නමැති, හය හැවිරිදි සිසුවිය සිද්ධිය වූ ස්ථානයේදීම මියගියාය. අවාසනාවන්ත කරුණ වන්නේ සිද්ධිය දිනයේ ඇගේ උපන් දිනය යෙදී තිබීමත් ඇය මරණයට පත්වන්නේ උපන් දිනය වෙනුවෙන් අනෙක් අයට සංග්‍රහ කරන්නට විදුහල්පතිවරයා ගෙනා කේක් කපා කෑමෙන් අනතුරුව අත්සේදීමට හා වතුර බීමට ආ අවස්ථාවක මෙම අනතුරින් ඇය මිය යාමත්ය.

සිසු දරුවන් ගුරුවරුන් අතර සමීප සම්බන්ධයක් පවතින මෙම කනිෂ්ඨ පාසලේ වාර්තාවන අන්දමට ඊයේ ෂෙහන්සා වෙනුවෙන්
‘සර්ප්‍රයිස් සැමරුමක්‘ පවත්වා තිබේ.

මීට හේතුවී ඇත්තේ ඊයේ පාසලේ විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතාගේද උපන් දිනය යෙදී තිබීමය.
වෙනදා මෙන්ම විදුහල ආරම්භ කිරීමෙන් අනතුරුව දරුවෝ පන්ති කරා ගියෝය. පළමු වැනි ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුහුද වෙනදා මෙන්ම පන්තියට ගියෝය.

“ආ අද නේද ෂෙහන්සගෙ උපන්දිනේ?” පන්ති භාර ගුරුතුමිය පැවසුවාය. “ඔව් ටීචර්, අද තමයි. මම තාත්තට කිවුවා අද හවසට කේක් එකක් ගෙනැත් තියන්න කියලා” යැයි ෂෙහන්සා කිවුවාය.

ගුරුතුමිය ටික වේලාවකට පසු පන්තියට පැමිණියේ විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතාද සමඟිනි. ඇය බංකුවක් මත කේක් ගෙඩියක් තබා විදුහල්පතිවරයාත් ෂෙහන්සා දැරියත් අනෙකුත් දරුදැරියනුත් වට කරගෙන කේක් එක කපන ලෙස දැරියටත් විදුහල්පතිවරයාටත් ඇරියුම් කළාය. ඔවුනට අවශ්‍ය වූයේ දැරිය පුදුම කරන්නටය.

“අද ෂෙහන්සා දුවගෙ උපන්දිනේ. මගේ උපන්දිනයත් අදයි. අපි දෙන්නම කේක් කපමු” යැයි පැවසූ විදුහල්පතිවරයා දැරියද සමඟ කේක් එක කපා ෂෙහන්සාටත් කවා අනෙකුත් දරුවන්ටද දුන්නේය.

ඉන් ටික වේලාවකට පසු අත්සෝදන්නට ඔවුන් පිටතට ගිය අතර අන්තරාදායක ස්ථානයේ ෂෙහන්සා තම මිතුරු මිතුරියන් සමඟ ජල කරාම වලින් අත්සෝදමින් සිටියා සේම ජල බේසම් සහිත බැම්ම මතට නැඟී සෙල්ලම් කරමින් සිටි බව පැවසිණි. හදිසියේම බැම්ම කඩාවැටී ඇත්තේ ඒ අවස්ථාවේය. දරුවෝ හය දෙනෙක් බැම්මට යට වූහ. ඒ අවස්ථාවේ ඒ අසල සිටි දරුවන්ගේ මවුවරුන් කිහිප දෙනකු පැමිණ බැම්ම ඉස්සීමට තැත් කළද දුෂ්කරවී කළ හැකි වී නැත. පසුව විදුහල්පති ඇතුළු ගුරුවරු පැමිණ බැම්ම ඉවත් කර, දරුවන් රෝහල කරා ගෙන යෑමට කටයුතු යෙදූහ.



මෙම කොන්ක්‍රීට් බැම්ම මීට වසර 10 කට පමණ පෙර ඉදිකර තිබූවක් වූ අතර, එහි කොන්ක්‍රීට් කම්බි කිසිවක් නොදමා, කුඩා තාප්පයකට හේත්තු වන සේ සිමෙන්ති බැම්මක් ලෙස ඉදිකර තිබී ඇති අයුරු දක්නට ලැබිණි.කොන්ක්‍රීට් ආධාරකයක් නොමැති නිසා එම කොන්ක්‍රීට් බැම්ම මෙලෙස එකවර කඩා වැටි ඇති බව පොලීසිය කියයි.ඇතැම් අවස්ථාවලදී සිසුන් මෙම කොන්ක්‍රීට් බැම්ම මත නැග, ජලය පානය කරන අවස්ථා දක්නට ලැබෙන බව ද ප්‍රදේශවාසීහු කියති.

මෙම  විදුහල්පතිවරයා මීට වසර 3කට පෙර මෙම පාසලට පැමිණ ඇති අතර, ඔහු මෙම පාසලට පැමිණෙන අවස්ථාවේදීත් මෙම කොන්ක්‍රීට් බැම්ම ඉදිකර තිබී ඇතැයි පොලීසිය කියයි.

විදුහල්පතිවරයා මෙම අනාරක්ෂිත තත්ත්වය තේරුම් ගෙන, එයට නිසි පිළියම් නොයෙදීම සම්බන්ධයෙන් ගම්වාසීන් පිරිසක් විදුහල්පතිවරයාට චෝදනා කරමින්, ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
අනතුරින් ටික වේලාවකට පසු මවුපියන් පොරකමින් ඒ ස්ථානයට පැමිණ ඇති අතර, පැමිණි පිරිසෙන් කිහිප දෙනකු විදුහල්පතිවරයාට දැඩි ලෙස පහර දී තිබේ. එහි රැස්ව සිටි මවුපියන් පැවසුවේ විදුහල්පතිවරයාට පහර දුන් තැනැත්තා දරුවකුගේ පියකු නොවන බවයි. පහර කෑමට ලක් වූ විදුහල්පතිගේ ඇසට තුවාල සිදුවූ අතර  සුසන්ත කරුණාරත්න මහතාද ප්‍රතිකාර සඳහා ඇස් රෝහලට ගිය බව කියැවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ඊයේ එම ස්ථානයේ සිදු කර තිබෙන අතර අද දින පාසල වසා දමා තිබේ.