windy-weather-warning

අන්දමන් හා නිකෝබාර් දූපතට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද (16දා) උදෑසන වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා උතුරු අක්‍ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලට අද (16දා) දින යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. මෙම ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේදී පැයට කිලෝමීටර් 40ත් 45ත් පමණ වන බවත්, විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවත්,

ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත්වන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං උතුරු හෝ වයඹ දිශාවලින් හමා එන අතර,

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත්පමණ වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉන්දික හේවාවිතාරණ