රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් විසිදහසක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (12වැනි) දින එක්දින  වැඩවර්ජනයක් සිදුකරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

මෙම වැඩ වර්ජනය සදහා සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප්‍රවාහන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට සම්බන්ධ රාජ්‍ය සේවකයන් සම්බන්ධ නොවන බවද එම එකමුතුවේ කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සදහන් කළේය.

එක්දින වැඩවර්ජනයට සමගාමීව දිස්ත්‍රික්ක 25 තුළ විරෝධතා ව්‍යාපාර 25ක් පැවැත්වීමටත් කටයුතු කරන බවත්, මේ අනුව ප්‍රධාන විරෝධතා ව්‍යාපාරය කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී පැවැත්වෙන බවත් සියලුම විරෝධතා උදෑසන 10.00ට පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.

වැඩවර්ජනයට සම්බන්ධ වන රාජ්‍ය සේවකයන් අද උදෑසන 8.15 සිට සවස 4.15 දක්වා කාලය තුළ අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මෙම ක්‍රියාමාරිගයට අනුව අයවැය අවසන් වන දිනය වන 13වැනිදා රාජ්‍ය සේවක ඉල්ලීම් ලබාදීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවුණහොත් ඉල්ලීම් දිනාගන්නාතුරු විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන සිදුකරන බවද නියෝජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. 

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් අධ්‍යපාන සෞඛ්‍ය හා ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පිරිස්ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ කර ගන්නා බවත්, රුපියල් විසිදහසේ දීමනාව ලබාදීමට අමතරව ඉහළ දමා තිබෙන වැන්දඹු හා අනත්දරු අරමුදලට අයකර ගන්නා මුදල පහළ දැමිය යුතු බවත් පවසා සිටි හෙතෙම, මීට අමතරව, 2016 වසරින් පසු අහිමි කර තිබෙන පූර්ණ විශ්‍රාම වැටුප නැවත ලබාදිය යුතු බවත්, 2014 වසරේදී අහිමි කළ ශ්‍රේණි උසස් ක්‍රමය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසීය.

                                                                                                                            ඉන්දික හේවාවිතාරණ