2022-ol-best-results-holders

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවිය සමත් වූවාය.
පළමු වසරේ සිට මහාමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ ඇය පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස කටයුතු කරයි. සමාධිගේ පියා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක වන අතර, මව දේශානි කරුණාතිලක ය. සමාධි පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 171ක් ලබා ගනිමිනි.

ඇයගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබෙන අතර, අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේ උසස් පෙළ හදාරමින් සිටී.

තමන් ලද විශිෂ්ට ප්‍රතිඵලය පිළිබඳ සමාධි මෙසේ පැවසුවාය.

“සාමාන්‍ය පෙළ විභාගය A සමාර්ථ 09 ක් සමඟ සමත්වෙයි කියලා හිතුවට දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඉස්කෝලෙන් කතා කරලා ලංකාවේ පළවෙනි තැන මට හිමිවෙලා තියෙන බව කිව්වම මට අදහා ගන්නත් බැරිවුණා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදරා අනාගතයේදී වෛද්‍යවරියක වීමයි මගේ අරමුණ. එදිනෙදා වැඩ එදිනම අවසන් කළ නිසා මට විභාගය ආසන්න වෙද්දි ලොකු පීඩනයක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. විභාගය ඉහළින්ම සමත් වෙනවා කියන ඉලක්කය අපිට තිබිය යුතුයි වගේම ඒ ඉලක්කය සපුරා ගන්නත් අපි මහන්සි විය යුතුයි. ගුරුවරුන් හා මවුපියන් අවශ්‍යය මඟ පෙන්වීම කළාම අපි උත්සාහවන්තව ඒ මඟ යායුතුයි. මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර මෙසේ පැවසුවාය.

“සමාධි දියණිය පාසලට විශාල කීර්තියක් ගෙන දී තිබෙනවා. විදුහල්පතිවරිය ලෙස වගේම පාසලේ ආදි සිසුවියක් ලෙසත් මෙම ජයග්‍රහණය පිළිබඳ මට ආඩම්බර වීමට පුළුවන්.”

සමාධි ගේ පියා වන මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවකය.


මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ දෙවන ස්ථානය හිමි වී අත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්දා ශිෂ්‍යාවය. එම සිසුවිය පහ වසර ශිෂ්‍යත්වයෙන්ද ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන විභාගය සමත් වී ඇත. ප්‍රතිඵල දැන ගැනීමෙන් පසුව ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරියක් වී රටට සේවය කිරීමට කැමැති බවයි. ඇය තමා මෙතෙක් කාලයක් අධ්‍යාපනය ලද විද්‍යාලයේම උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන බව ඇය පවසන්නීය.


මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අතර හතරවැනි ස්ථානයට පත්වූයේ ගම්පහ හෝලි ක්‍රොස් විදුහලේ ඩී.එම්.දුල්මිණි සදිපා දිසානායකයි. උසස් පෙළ ජිව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා ස්නායු විශේෂඥ වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවෙන් පසුවන දුල්මිණි, මෙවර විශිෂ්ට සාමාර්ථ අතරට පිවිසියේ ඇය බලාපොරාත්තු නොවූ දිස්ත්‍රික් කඩඉමක් සනිටුහන් කරමිනි.

“මගේ අම්මා නදීකා දිල්රුක්ෂි මිරිස්වත්ත කැප්පෙටිපොළ ජාතික පාසලේ සිංහල විෂය පිළිබඳ ගුරුවරියක්. පියා ජීවන්ත දිසානායක කැලණිය විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එකම නංගි තවමත් අධ්‍යාපනය ලබනවා. මම සියලු විෂයන්ට ප්‍රමුඛතාව දුන්නේ පාසල් අධ්‍යාපනය හරහායි. මුල් කාලයේ කිසිදු බාහිර පන්තියකට සහභාගි වුණේ නැහැ. නමුත් සාමාන්‍ය පෙළ ආසන්න කාලයේදී ඔන්ලයින් හරහා පන්ති කිහිපයකට සහභාගි වුණා. නමුත් පාසලේ ගුරුවරු මට ගොඩක් උපකාර කළා. එදිනෙදා වැඩ එදිනෙදාම කළ නිසා මාස තුනකට පෙර විෂය මාලාව අවසන් කර පාඩම් හා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සුදානම් වුණා. මම කතෝලික ආගමේ වුණත් ඉඳිගොල්ල ශාන්ත ජෝන් දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. නිතරම බාහිර තරගවලට යොමු වුණා වගේම ගෙදර දොර වැඩවලටත් මම මගේ කාලය කැප කළා. විභාගය ආසන්න කාලයේදි කාල සටහනක් සකස් කරගෙන 2016 සිට 2021 දක්වා සෑම විෂයකටම අදාළව ප්‍රශ්න පත්‍රවලට සූදානම් වුණා. පසුගිය වසරේ සාහිත්‍ය විචාර සමස්ත ලංකා පළමු ස්ථානය ලබා ගන්නත් මට හැකි වුණා.”දුල්මිණි පවසන්නීය.

දුල්මිණිගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසලින් අති විශාල සහයෝගයක් ලැබුණු බවත්, ඊට ගුරුවරුන් ඇතුළු පාසලේ විදුහල්පතිනිය දැක්වූ අපරිමිත කැපවීමත් ඇය ගෞරවයෙන් සිහිපත් කළාය.

පළමු වසරේ සිට ගාල්ල, මාගාල්ලේ අනුලා දේවී විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අමාවි උත්පලනි ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට පැමිණෙන්නේ ලකුණු 175ක් ලබාගෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වෙමිනි. ඇයගේ පියා නිශාන්ත සිරිවර්ධන කර්මාන්ත ශාලා සුළු පරිපාලකවරයකු ලෙස සේවය කරන අතර, මව එන්.ඩබ්ලිව්. කල්‍යාණි, ගාල්ල මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කරන්නීය. විද්‍යා අංශයෙන් උසස් පෙළ ඉගෙනීම අමාවිගේ බලාපොරොත්තුවයි. අමාවි අබේරත්නගේ ජයග්‍රහණය පිළිබඳ සංඝමිත්තා බාලිකා විදුහලේ විදුහල්පතිනිය චාන්දනි උඩුකුඹුර පැවසුවේ මෙය අමාවි දියණිය සිය පාසලට ලබා දුන් ගෞරවයක් බවයි.


මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අතර සය වැනි ස්ථානයකට පත්වූ තවත් දක්ෂයකු වූයේ කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ සෙව්මික පබසර ය. සෙව්මිකගේ මව කේ.ජී.බී අමරදාසය ගෘහිණියකි. පියා සී.එම්.එස් තුෂාරය. සෙව්මිතගේ වැඩිමහල් සොහොයුරිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්නා අතර වැඩිමහල් සහෝදරයා එම පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලබයි.

“මම මුල සිටම වාර විභාග අරමුණු කරගනිමින් වැඩ කටයුතු කළේ. හත වසරේ සිටම මගේ අරමුණ වුණේ ඒ ඒ අංශයෙන්ම ඉහළම ලකුණකට යන්න. ඒ නිසාම මම හත වසරේ සිට සෑම වාරයකම ඒ ඒ වාරයේ අංශයේ පළමුවැනියා වුණා. මගේ එකම අරමුණ උසස් පෙළ ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීමයි. මම අමතර පන්තිවලට සහභාගි වුණා. විභාගය ඉහළින් සමත්වීම අරමුණ වුණත් දිස්ත්‍රික් කඩඉමකට යාමට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම සාමාන්‍ය පෙළ හැදෑරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අභියෝග නොතිබුණා නෙමෙයි. ඒත් මුල සිටම අමාරු කොටස් කොහොම හරි ග්‍රහණය කරගත් නිසා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා. ඉගෙනීමේ කටයුතු අතර සංගීත විෂයත් හැදෑරුවා. වයලීන වාදනයෙන් විශාරද විභාගයෙන් සමත් වුණා.” සෙව්මිත පැවසුවේ සතුටිනි.

“මටත් ගොඩාක් සතුටුයි. පුතා පොඩි කාලයේ සිටම හරිම දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 189ක් අරගෙනයි එයා මලියදේව පිරිමි පාසලට ගියේ. පුතා නිතරම පොත්පත් කියවනවා. එකම බලාපොරොත්තුව වෛද්‍යවරයෙකු වීමයි.” ඒ සෙව්මිකගේ මව කේ.ජී.බී අමරදාස පැවසුවේ සිය දරුවා පිළිබඳ අභිමානයෙනි.

මෙවර 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන්ම තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ එකොළහ පන්තියේ ඉගෙනුම ලබන අලහකෝන් මුදියන්සේලාගේ අරිත මින්සඳු අලහකෝන්ය. 2012 වසරේ පළමු වසරේ සිටම රාජකීය විද්‍යාලයෙන් මුලකුරු කියවූ මින්සඳු එකොළහ වසර දක්වා සෑම වසරකම පන්තියේ පළමු වැනියා වූ අතර සිවු වතාවක් අදාළ වසරවල පන්ති සියල්ලේම පළමු වැනියා විය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 185ක් ලබාගත් අරිත, 7 වැනි වසරේ සිට මේ දක්වා ගණිතය ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී සෑම වසරකම පදක්කමකට හිමිකම් කියයි.

අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකරකම්වලට ද දක්ෂතාවක් දක්වන අරිත ජනාධිපති බාල දක්ෂයකු වීමට ඇත්තේ තව නොබෝ කාලයකි. ස්කොෂ් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කරන ඔහු 2018 වසරේදී අසියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියොජනය කළේය. පියානෝ වාදනයට ද දක්ෂතා දක්වන අරිත, 2020 ලන්ඩන් පියානෝ වාදන තරගයෙන් ජයග්‍රහණ ලබා ඇත. ඔහුගේ බලාපොරොත්තුව ගණිත විෂයධාරාවෙන් උසස් පෙළ හැදෑරීමය.

රාජගිරිය වලව්වත්ත පාරේ පදිංචි අරිතගේ පියා ප්‍රසන්න අලහකෝන් පුද්ගලික සමාගමක විදුලි ඉන්ජිනේරුවකු වන අතර, මව අනූජා පෙරේරා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය. මින්සඳුට වැඩිමහල් සහෝදරියක සිටින අතර, ඇය නමින් අනුකි අලහකෝන්ය. ඇය මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. රාජකිය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා ඇතුළු ආචාර්ය මණ්ඩලය තමාට විශාල සහයෝගයක් වූ බව අරිත පැවසුවේය.

මෙවර 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන්ම සිව් වැනි ස්ථානය හිමිකරගත්තේ ද කොළඹ රාජකීය විද්‍යාලයේ එකොළහ වසර ජේ පන්තියේ ඉගෙනුම ලබන සඳයුරු සනහස් ආරියසිංහ ශිෂ්‍යයාය.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සනහස් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183ක් ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත.

උපකාරක පන්ති කිසිවකට නොගිය සනහස් පාසලේ ලබාදෙන අධ්‍යාපන කටයුතුවලින් පමණක් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි. ඔහු පවසන ආකාරයට අවසාන කාලයේ දී පමණක් සිංහල විෂය සඳහා ගුරුවරයකුගේ සහාය ලබාගෙන ඇත. විෂය බාහිර කටයුතු ලෙස පරිගණක සමාජයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන සනහස් 2022 Asia Pasific ICT Alliance(APICTA)ජාත්‍යන්තර තරගය සඳහා ශ්‍රී ලංකාව නියොජනය කරමින් ශිෂ්‍ය කාණ්ඩයේ කුසලතාව හිමිකරගෙන ඇත. පියානෝ වාදනයට හා සංගීතයට බෙහෙවින් ඇලුම් කරන හෙතෙම සමස්ත ලංකා බටහිර සංගීත හා නැටුම් තරගයෙන් පියානෝ ඒකල ඒ 2 ජ්‍යෙෂ්ඨ (බාලක) තරගයෙන් පස් වැනි ස්ථානය ලබා ගැනීමට ද සමත් විය.

පන්නිපිටිය ලියන ගොඩ පදිංචි සනහස්ගේ පියා විරංග ආරියසිංහ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. මව සුමුදු සුබසිංහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.

සනහස්ට බාල සොයුරියක සිටින අතර ඇය නමින් සෙනායා ආරියසිංහය. ඇය දේවි බාලිකා විද්‍යාලයේ දහවැනි වසරේ ඉගෙනුම ලබන්නීය.

මෙවර සාමාන්‍ය පෙළ ඉහළම සාමාර්ථයන් අතර ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලට හිමි වූයේ සුවිශේෂි ජයග්‍රහණයකි. ඒ ඉහළම සාමාර්ථලාභින් අතරෙන් දෙදෙනකුම ගාල්ල සංඝමිත්තාවෙන් බිහි වීමය. ගාල්ල බෙලිගහ හන්දියේ පදිංචි දික්මාදුගොඩගේ සවින්ති මෙතුමිණි ඉන් එක් දැරියකි. සවින්ති මෙතුමිණිගේ මව ලක්මිණි අමරසූරිය වෛද්‍යවරියක වන අතර, ඇය සේවය කරන්නේ මහමෝදර රෝහලේ ලේ බැංකුවේය. සවින්තිගේ පියා, සුමිත් කුමාර විදුලි ඉංජිනේරුවරයෙකි. පළමු වසරේ සිට සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සවින්ති ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ ලකුණු 167ක් ලබාගනිමිනි. ඇයගේ අපේක්ෂාව ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමය. ඡායාරූප සංගමයේ ක්‍රියාකාරිනියක් ද වන ඇයගේ සහෝදරියන් දෙදෙනා ද ඉගෙනුම ලබන්නේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහලේ මතිෂා ෂෙරෝන් රාජපක්ෂ සිසුවිය සමත් විය.

ඇගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන අයි.ටී රාජපක්ෂ මහතා ය. මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන කේ.ජී.ඩී අමරසේන මහත්මිය ඇගේ මවයි.

පළමු ශ්‍රේණියේ සිට උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන ෂෙරෝන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 162ක් ලබා ගනිමිනි.

ඇගේ නැඟණිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ අටවැනි ශ්‍රේනියේ අධ්‍යාපනය ලබමින් සිටී.

තම ජයග්‍රහණය පිළිබඳ ෂෙරෝන් මෙසේ පැවසුවාය.

“මම 11 වසර වැඩ ටික 10 වැනි ශ්‍රේණියේදීම අවසන් කළා. පාසලේ විදුහල්පතිනිය නිලංකා අබේවර්ධන ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් වගේම මග පෙන්වීමක් ලැබුණු නිසා මට අමතර පන්තිවලට නොයා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. යූ ටියුබ් මඟින් මම සාමාන්‍ය පෙළ විෂයන් සම්බන්ධ අවබෝධයක් ලබා ගත්තා. අනාගතයේදී වෛද්‍යරියක් වීම සඳහා උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන්න මම බලාපොරොත්තු වෙනවා.”

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ 6 වැනි ස්ථාන හතර අතරෙන් එක් ස්ථානයක් හිමිකර ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සම්මුහම් බාලිකා විද්‍යාලයේ දර්ශනා කෝනේෂ් සිසුවියයි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කිරීමට බලාපොරොත්තු වන ඇයගේ අනාගත පැතුම වෛද්‍යවරියක් වීමයි. දර්ශනාගේ පියා බාලසුන්දරම් කෝනේස් නැඟෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කරන අතර, මව කෝනේෂ් ක්‍රිෂාන්තිය. ත්‍රිකුණාමලය ශ්‍රී ෂම්මුග හින්දු කාන්තා විදුහලේ විදුහල්පතිනිය එල්. රවිරාජන් සහ දර්ශනාගේ පන්ති භාර ගුරුතුමිය කලාප්‍රියා රාජිව් ද මෙම ජයග්‍රහණය ගැන සතුට ප්‍රකාශ කළහ.

(පසුබිම් වාර්තා හා ඡායාරූප - මහනුවර – අසේල කුරුළුවංශ | ගාල්ල – සිරංගිකා ලොකුකරවිට | ත්‍රිකුණාමලය – මංගලනාත් ලියනාරච්චි | යාපනය – සුමති තංගරාසා| රසුල දිල්හාර ගමගේ, සුභාෂිණි ජයරත්න, රසික කොටුදුරගේ )