America-Australia-Gifts-Medicines-Two-containers-equipment-stuck-port

ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් මෙරට රජයේ රෝහල්වලට පරිත්‍යාග කළ ඖෂධ සහ උපකරණ අඩංගු කන්ටේනර් දෙකක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) නොසැලකිල්ල හේතුවෙන් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කොළඹ ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.

මෙම කන්ටේනර් දෙක නිදහස් කරගැනීමට අදාළ බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළද ඵලක් නොවූ බවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය රජයට හෝ සංවිධානවලට ලැබෙන පරිත්‍යාගවලට අනුමැතිය නොදීමෙන් විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදු වී ඇති බවත් උන්වහන්සේ කීහ.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාද වීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ද විශාල ද වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව කී රජවැල්ලේ සුභූති හිමියෝ පැවසුවේ මහජන මුදල් එසේ නාස්ති කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් අවධානය යොමු කළ යුතු බව සඳහන් කළහ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්‍ෂමතාව  සහ නොසැලකිල්ල හේතුවෙන් විදේශවලින් ලැබෙන පරිත්‍යාග අහිමිවීමේ අවදානමක් ඇති බව කී සුභූති හිමියෝ රෝහල් සේවා මණ්ඩලය වසර 10කට අධික කාලයක සිට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට රුපියල් කෝටි 5,000ක පමණ ඖෂධ සහ වෛද්‍ය උපකරණ රෝහල් 400කට පමණ බෙදාහැර ඇති බවද සඳහන් කළහ. රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියට එල්ල වන එම චෝදනාව පිළිබඳව එම අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙරට පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව විශාල ගැටලු මතුවී ඇති බවත් එම ගැටලු නිරාකරණය කිරීමෙන් තොරව අනුමැතිය දීමේ හැකියාවක් නොමැති බවත්ය.



පරිත්‍යාග ලෙස ලැබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල මෙරට නියෝජිතයන් සිටින අවස්ථාවලදී පරිත්‍යාගවලට අනුමැති දීමට එම නියෝජිතයන් විරුද්ධ වන බවත් එවැනි තත්වයන් වලදී අනුමැතිය ගැනීමට කාලයක් ගතවන බවත් ඔහු කීවේය. මෙම කන්ටේනර් දෙක පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී ඔහු පැවසුවේ එවැනි බහලුම් දෙකක් පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නියමිත අනුමැතිය සහිතව ඒවා නිදහස් කරගැනීමට පැමිණි අවස්ථාවේදී පමණක් බහලුම්වල තිබෙන භාණ්ඩ ගැන රේගුව දැනුවත් වන බවත්ය.
යොහාන් භාසුර