Cyclone-Michaung-floods-Chennai-India---18-dead
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ  චෙන්නායි අගනුවරට පතිත වූ අධික වර්ෂාව ආශ්‍රිත සිදුවීම් හේතුවෙන්  පුද්ගලයින් 18 දෙනෙකු පමණ මියගොස් තිබේ.
Michaung සුළි කුණාටුව අඟහරුවාදා අසල්වැසි ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට කඩා වැදුණු අතර, එම නිසා  කුඩා දරුවෙකුද මිය ගොස් විශාල වගා හානි වාර්තා විය.
නගරයේ තදාසන්න ප්‍රදේශවල නිවාස හා වීදිවල වැසි ජලය ඉවත් කිරීමට බලධාරීන් උත්සාහ කර තිබේ. ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ තමන්ට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි බවත් නිරන්තර විදුලිය විසන්ධි වීම් සිදු වන බවත්ය.

සඳුදා, චෙන්නායි වෙත සෙන්ටිමීටර 24 ක (අඟල් 9.4) පමණ වර්ෂාපතනයක් පතිත විය.  ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෙන්ටිමීටර 21 ට වඩා වැඩි වර්ෂාපතනයක් "ඉතා ඉහළ වර්ෂාපතනයක්" ලෙස වර්ගීකරණය කරයි.

ඉන්දියාව තුළ මීට පෙර මෙවැනි දරුණුතම වර්ෂාපතනයක් වාර්ථා වූයේ 2015 වසරේදී වන අතර, ඒ හේතුවෙන් චෙන්නායි හී 200 කට අධික පිරිසක් මිය ගියේය. ප්‍රවීණයන් පවසන්නේ බොහෝ ඉන්දියානු නගරයන් තුළ ඇති  පාලනය නොකළ ඉදිකිරීම් සහ දුර්වල නාගරික සැලසුම් හේතුවෙන් ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ගැටළු පැන නැගී ඇති බවයි.

කාර්යබහුල චෙන්නායි ගුවන් තොටුපලෙහි ධාවන පථය ජලයෙන් යටවීම නිසා සදුදා දිනයේ දී එය වසා දමන ලදී. පසුගිය දින තුන තුළ දුම්රිය වාර බොහෝ ගණනක් අවලංගු කර ඇත. Apple සැපයුම්කරු Foxconn ඇතුළු සමාගම් කිහිපයක නිෂ්පාදනය අඩාල වීම නිසා , ගංවතුර හේතුවෙන් ඇති විය හැකි  ආර්ථික බලපෑම "දැඩි" වනු ඇතැයි අපේක්ෂා කරන බව Mint පුවත්පත වාර්තා කළේය .



බ්‍රහස්පතින්දා, චෙන්නායි හි නාගරික නිලධාරීන් වාහන ගමන් කිරීමට ඉඩ සැලසීම සඳහා නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවල වීදිවලින් ජලය පොම්ප කිරීමට උපකරණ භාවිතා කර තිබේ.

මහා චෙන්නායි සංස්ථාවේ කොමසාරිස් ජේ රාධක්‍රිෂ්ණන් පැවසුවේ, පැය 36 ක් පමණ පැවති අඛණ්ඩ වර්ෂාවෙන් පසු හැකි තරම් ජලය පොම්ප කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි. බදාදා රාත්‍රිය වන විට නගරයේ හතරෙන් තුනක ගංවතුර බැස ගොස් ඇති බව ද ඔහු පැවසීය.

පසුගිය දින තුන තුළ දහස් ගණනක් ජනතාව සහන කඳවුරු වෙත යොමු කරන ලදී. ගංවතුර හේතුවෙන් නිවාස වල කොටු වී සිටි බොහෝ දෙනෙක් ගලවා ගැනීම සදහා රබර් සහ ෆයිබර් බෝට්ටු යොදා ගන්නා ලදී. ඇතැම් ප්‍රදේශවල පානීය ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ද බලධාරීන් උත්සාහ දරමින් සිටියි. රට තුළ සිදු වන අධික ඉදිකිරීම් හේතුවෙන්,  වැසි ජලය බැස යාමට ඉඩක් නොමැති බව විශේෂඥයන් පවසයි.

"චෙන්නයි හී ඇතැම් තදාසන්න ප්‍රදේශයන් හී ඇති වැව් සහ පොකුණු ආශ්‍රිත වගුරු පෝෂක ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගොඩනැගිලි ඉදිකර ඇති නිසා , අධික වර්ෂාවක් ඇති වූ විට එම නිවාස ජලයෙන් යට වන බව" නාගරික ගංවතුර පිළිබඳ අධ්‍යයනය කරන ඩේවිඩ් මනෝහර් පැවසීය.

භූ විශ්ලේෂණ විශේෂඥයෙකු වන රාජ් භගත් පී  පැවසුවේ , වඩා හොඳ ජල අපවහන පද්ධති මගින් ගංවතුර වළක්වා ගත හැකි නමුත්, "ඉතා අධික වැසි" වලදී එය බොහෝ සෙයින් උපකාරී නොවන බවයි.

තමිල්නාඩු රජය ප්‍රාන්තය සඳහා රුපියල් බිලියන 50ක (ඩොලර් මිලියන 600; පවුම් මිලියන 478) අන්තර් ෆෙඩරල් ආධාර ඉල්ලා ඇත. මහ ඇමති එම්කේ ස්ටාලින් X (කලින් ට්විටර්) හි සටහනක් තබමින් කියා සිටියේ , මෙම ආන්තික කාළගුණික තත්වය යටිතල පහසුකම් සදහා දැඩි ලෙස බලපෑම් කර  ඇති බවයි.

රාධක්‍රිෂ්ණන් මහතා පැවසුවේ, වර්ෂා කාළය තුළදී ජල කාණු නිසි ලෙස ක්‍රියා නොකළ ප්‍රදේශ හඳුනා ගැනීමට බලධාරීන් සමීක්ෂණ කරන බවයි.
"නමුත් එය දිගු ක්‍රියාවලියක්. දැන් අපි මූලිකවම ගලවා ගැනීමේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරනවා," යැයි ඔහු පැවසීය.