Facial-recognition-athukorala

පසුගිය වසරේ අරගල අවස්ථාවේ සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩු විභාගයේදී පළමු වරට Facial recognition (මුහුණු හඳුනාගැනීමේ) තාක්ෂණය මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ.

පසුගිය වසරේ මැයි 9 වැනිදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබා ඇති විත්තිකරුවන් ධනාත්මකව හඳුනා ගැනීමට මෙම තාක්ෂණය යොදා ගැනේ.

සිකුරාදා ගම්පහ මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක ප්‍රසන්න බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නව තාක්ෂණය හඳුන්වා දෙන බවයි.



මෙමගින් සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කිරීමටත්, එම දර්ශනවල දක්නට ලැබෙන අයගේ මුහුණු විත්තිකරුට ගැළපේ දැයි පරීක්ෂා කිරීමටත්, විත්තිකරුවන් සත්‍ය වශයෙන්ම අපරාධයට සම්බන්ධ දැයි හඳුනා ගැනීමටත් දෙපාර්තමේන්තුවට හැකි වනු ඇතැයි ඔහු පැවසීය. අපරාධයට වගකිවයුත්තන් ධනාත්මකව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම සහතික කිරීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

විත්තිකරුවන් හතළිස් එක් දෙනෙකුට චෝදනා 14ක් යටතේ අධිචෝදනා ගොනු කර ඇත. විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු නොපැමිණීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතී. විත්තිකරුවන්ගෙන් එක් අයෙක් විදේශගතව සිටින බව දන්නා අතර අනෙක් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. කෙසේ වෙතත් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥවරුන් විසිනි. මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

සිකුරාදා අධිචෝදනා පත්‍ර කියවීමෙන් පසු සියලුම විත්තිකරුවන් නිවැරැදිකරුවන් බව කියා තිබෙන පසුබිමක මෙම තාක්ෂණය උදව්වට ගන්නට තීරණය විය.