Michaung-hits-india

දරුණු සුළි කුණාටුව හේතුවෙන් ඇති වී තිබෙන අධික වර්ෂාව සහ තද සුළං,  ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට පහර දෙමින් සිටින අතර පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මේ තත්වය නිසාම තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයන් හී පහත් බිම්වල වෙසෙන දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇත.

චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මෝටර් රථ සැඩපහරන්ට හසුව ගසාගෙන යෑම් පිළිබදව හා ගස් කඩා වැටීම් පිළිබදව වාර්ථා වෙයි. දරුණු කාළගුණික තත්වය හේතුවෙන් ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළ සඳුදා දිනයේ දී සිය මෙහෙයුම් නවතා දමා ඇත.

චෙන්නායි පොලිසිය පැවසුවේ පුද්ගලයන් හය දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මරණයට හේතු ලෙස ව්‍යූහයන් වැටීම සහ විදුලිසැර වැදීම දක්වා ඇත. වර්ෂාව හේතුවෙන් චෙංගල්පත්තු නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Michaung සුළි කුණාටුව අඟහරුවාදා උදෑසන ආන්ද්‍රා , නෙල්ලෝර් සහ මචිලිපට්නම් ප්‍රෙද්ශයන්ට

කඩාවදිනු ඇතැයි අපේක්ෂා කරන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 110 (පැයට සැතපුම් 68) දක්වා ඉහළ යනු ඇත.

කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. සඳුදා පාසල්, විද්‍යාල සහ බැංකු වසා දමා ඇති අතර අඟහරුවාදා දිනය වන විට අවම වශයෙන් දිස්ත්‍රික්ක හතරක පමණ සියළු කටයුතු නවතා දමා ඇත.

චෙන්නායි සහ ඒ අවට ඇති  ප්‍රධාන ඉලෙක්ට්‍රොනික හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන  iPhone නිෂ්පාදන ආයතනය ඇතුළු කර්මාන්තශාලා වසා දමා ඇති බව වාර්තා වෙයි. ප්‍රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් 7,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර , සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ ප්‍රචණ්ඩත්වය අනුව තවත් පුද්ගලයන් 21,000 ක් පමණ ඉවත් කිරීමට ඉඩ ඇති බව සදහන් කර ඇත.

මෙම අයහපත් කාලගුණ තත්වය බදාදා උදෑසන වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය පැය 24 තුළ උතුරු තමිල්නාඩුව, රායලසීමාව සහ ආන්ද්‍ර ප්‍රදේශ් වෙත ඉතා තද වර්ෂාපතනයක් ලැබී ඇති අතර,

තෙලන්ගානා සහ ඔඩිෂා ප්‍රාන්තවලට වැසි සහ සුළං අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබේ.

දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් , උතුරු තමිල්නාඩු සහ පුදුචේරි ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ. එමෙන්ම එම ප්‍රදේශයේ නිවාසවලට බරපතළ හානි සිදුවී ඇතැයි අපේක්ෂා කරන බවත්, වෙරළබඩ ප්‍රදේශ රැසක ධීවරයින්ට මුහුදු නොයන ලෙසටත් අනතුරු අඟවා තිබේ.

මේත් සමග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශ සඳහා සුළං අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශවලට සෙන්ටිමීටර 20 (අඟල් 8) ට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බව සදහන් කරයි. පසුගිය පැය 24 තුළ චෙන්නායි හි ඇතැම් ස්ථානවලට සෙන්ටිමීටර 25 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එසේම පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, බටහිර උත්තර් ප්‍රදේශ් සහ නැගෙනහිර රාජස්ථාන් යන ප්‍රදේශවලට ද ඝන මීදුම පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.