The economic crisis has pushed women into the world's oldest job

ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රටපුරා තාවකාලික ගණිකා නිවාස වැඩි වී ඇති අතර පසුගිය මාස කිහිපය තුළ ගණිකා වෘත්තිය 30% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් වන stand up Movement Lanka (SUML) සංවිධානය පෙන්වා දෙයි. අධික උද්ධමනය හමුවේ තම ජීවිකාව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ජීවත් වීම සදහා කාන්තාවන්ට ලිංගික ශ්‍රමිකයන් වීමට බල කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.

ලොව ඇතැම් රටවල මහ බැංකු මගින් අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් ආර්ථිකය කඩා වැටීමට ලක්විය. ලතින් ඇමරිකාවේ ගුරුවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් එවැනි අර්බුදයකට මුහුණ දීම හේතුවෙන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වූ බව එම රටවලින් වාර්තා වේ.. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මත නිර්මාණය වී ඇති දුෂ්කරතා බොහෝ පවුල් දරිද්‍රතා අන්තයට තල්ලු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ අර්බුදයට මේ වන විට මුහුණ පා සිටී එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා තාවකාලික ගණිකා නිවාස ,ස්පා සහ සුවතා මධ්‍යස්ථාන වැඩිවීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කේන්ද්‍ර කර ගනිමින් මසාජ්, ස්පා හෝ රූපලාවන්‍යාගාර ලෙස පවත්වාගෙන යන පෞද්ගලික ගණිකා මඩම්ද ඉහළ ගොස් ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි. ඒවායේ සේවය කරන පිරිස පවසන්නේ තම පවුලට දිනකට ආහාර වේලක් ලබා දීමට ඇති එකම මාර්ගය මෙය බවයි.

ඇඟලුම් කර්මාන්තයේ නිරත කාන්තාවන්ගෙන් යම් පිරිසක්ද මේ වින විට ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන බව stand-up Movement Lanka සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙණිය ප්‍රකාශ කරයි. ”කෝවිඩ් ව්‍යාප්තියෙන් පසු ඇඟලුම් කර්මාන්තයට බලපෑම් එල්ල වූ අතර රැකියා විශාල ප්‍රමාණයක් අහිමි කෙරුණා. එලෙස සේවයෙන් පහකෙරුණු ඇඟලුම් කර්මාන්තයේ යැයි කාන්තාවන්ගෙන් ඇතැමෙක් ලිංගික රැකියා වෙත යොමුවෙමින් සිටිනවා” යනුවෙන් ඇය සදහන් කර තිබේ. ලිංගික ශ්‍රමිකයින් බවට පත්ව සිටින කාන්තාවන්ගෙන් ඇතැමෙක් තම සහකරුවන් සදග ජීවත් වූ අතර අර්බුදය හේතුවෙන් ඇතැම් සහකරුවන් මෙම තරුණියන් අත්හැර ගොස් තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙක් ගැබිණියන්ය. අත්‍යවශ්‍ය දව්‍ය ලබා ගැනීම සඳහා ඇතැම් කාන්තාවන්ට කඩ හිමියන් සමඟ ලිංගිකව හැසිරීමට සිදුව ඇතැයි ෆස්ට් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශයන්හි සහ ඇඟලුම් කම්හල් ආසන්න ප්‍රදේශයන්හි නීතියේ ආරක්ෂාව සහ නියාමනය යටතේ ලිංගික වෙළඳාම සිදු කෙරෙන අතර ආරක්ෂාව සැපයීමට තුටු පඬුරු ලෙස ගණිකා
මඩම් පාලිකාවන් විසින් ඒවායේ සේවය කරන කාන්තාවන් එම නිලධාරින්ට නොමිලයේ සපයන බවද බව එහි සඳහන්ය.



මෙම අවාසනාවන්ත කාන්තාවන්ට විද්වතුන්ගේ සිට පාතාල සාමාජිකයන් දක්වා වන සේවාදායකයන් සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරිමට බලකෙරෙන බවද එහි සඳහන් වේ.

ලිංගික ශ්‍රමිකයන් බවට පත් කාන්තාවන් පවසන්නේ මෙම වෘත්තියෙන් විශාල මුදලක් උපයා ගත හැකි බවටය. පවතින ආර්ථික තත්ත්වය තුළ බොහෝ දෙනකුගේ අරමුණ තම පවුලේ නඩත්තුව සඳහා ඉක්මනින් මුදල් උපයා ගැනීමය. රැකියාවක් කර වසකට රුපියල් 20,000ත් 30,000ත් අතර මුදලක් ඉපැයූ කාන්තාවකට මෙම වෘත්තියෙන් දිනකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් උපයා ගැනීමට හැකිවීම මත ලිංගික ශ්‍රමිකයන් බවට පත්විමේ නැඹුරුවක් දැකිය හැකිය. ලිංගික ශ්‍රමිකයකු වන එක් කාන්තාවක ප්‍රකාශ කර තිබුණේ “අතිකාල වැඩ කරලත් අපිට මාසෙකට රුපියල් 35,000ක් වගේ මුදලකුයි ලැබෙන්නේ. මේ රස්සාවෙන් දවසකට 15,000ක් විතර ලැඛෙනවා.” යනුවෙනි. එහෙත් සියලු කාන්තාවන් එසේ පහසු මුදල් ඉපැයීමේ අරමුණින් එම වෘත්තියේ නියැලෙන්නන් නොවේ. ඔවුන් වෙනත් විකල්පයක් නොමැති හෙයින් බලහත්කාරයෙන් එම වෘත්තියට ඇද වැටුණු අයයි. ජීවිතයට අඟහිඟකම් පැමිණෙන විට අකමැත්තෙන් වුවද එම වෘත්තියට වැටෙන්නට ඔවුනට සිදුවී තිබේ.

ආර්ථික අර්බුදයට පෙර, කාන්තාවන් සහ පිරිමින් විසින් පිරිනමනු ලබන එවැනි සේවාවන් පැයකට රුපියල් 2000ක් වැනි අඩු මුදලකට ලබා ගත හැකි වූ නමුත් වර්තමාන අර්බුදය හේතූවෙන් ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇතැයිද, අන්තර්ජාලය ඔස්සේ එවැනි සේවා සපයන්නන් හඳුනා ගැනීමට හැකි බවද, කොළඹ පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලින්ද එවැනි සේවා ලබාගත හැකි ආයතන පවතින අතර මේවා වැඩිවශයෙන්ම ස්පා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන බවද අනාවරණ වී තිබේ.

විකිපීඩියා වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ 40,000ක පමණ කාන්තාවන් පිරිසක් ගණිකා වෘත්තියේ නියැලෙති. ඔවුන්ගෙන් අඩක් පමණ සිටින්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලය. ශ්‍රී ලංකා නීතියේ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් කාන්තාවකට චෝදනා කළ හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් නොමැත. එහෙත් පොලීසියට අයාලේ යැම් සම්බන්ධ ආඥාපනතේ සහ ගණිකා මඩම් ආඥාපනතේ විධිවිධාන ක්‍රියාත්මක කළ හැකිය. වරක් මහේස්ත්‍රාත්වරයකු ගණිකා වෘත්තීයේ යෙදී සිටි කාන්තාවක නිදොස් කොට නිදහස් කරමින් කියා සිටියේ කාන්තාවක් ගණිකා වෘත්තියෙන් ජීවත්වීම ලංකාවේ වරදක් ලෙස නොසලකන නමුත් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම වරදක් බවයි.



ගණිකා වෘත්තියෙන් පහසුවෙන් මුදල් ඉපැයිය හැකියැයි ඇතැමෙක් පැවසුවද ඔවුන් මුහුණ දෙන ගැටලු රාශියකි. සාමාන්‍යයෙන්, අපේ රටේ ලිංගික ශ්‍රමිකයන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන විට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරති. එහෙත් ආර්ථික අර්බුදය හමුවේ අලුතින් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වන බොහෝ පිරිස් අත්දැකීම් රහිත පුද්ගලයන් බැවින් ඔවුන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරුවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ බහු හවුල් කරුවන් සමඟ එක්වන පුද්ගලයන් මෙන්ම සමලිංගික පුද්ගලයන් අතර ලිංගාශ්‍රිත රෝග වර්ධනය වෙමින් පවතී. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඅයිඩීඑස්සී පාලන වැඩසටහනට අනුව, 2021 පළමු කාර්තුවේ එච්.අයි.වී (human immunodeficiency virus) ආසාදිත රෝගීන් 4,073 දෙනෙක් හමු වී ඇති අතර 2022 පළමු කාර්තුවේදී එය 11.8% වර්ධනයක් පෙන්වමින් රෝගීන් 4,556ක් වාර්තා වී
තිබේ. 2022 දෙවැනි කාර්තුවේදී එම්අයිවී රෝගීන් 4,686ක් හඳුනාගෙන ඇති අතර, එය 2021 දී 4,142 වී ඇති අතර 13.2% කින් ඉහළ යෑමකි.

2022 පළමු කාර්තුවේදී ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් රෝග සහිත රෝගීන් සංඛ්‍යාව 2,221ක් වූ අතර එය 2021 වස8 2,676 සංඛ්‍යාවට වඩා අවම වී තිබේ. එහෙත් දෙවන කාර්තුවේදී වෙනත් ලිංගාශ්‍රිත රෝග සහිත රෝගීන් 2,576ක් හමු වී ඇති අතර, එය 2021 දී හමුවූ රෝගීන් 1,753 සංඛ්‍යාවට වඩා ඉහළ යෑමකි.

“ලිංගික ග්‍රමිකයින්ගේ වැඩි වීමක් පසුගිය මාස කිහිපය තුළ ක්ෂේත්‍රය තුළ දැකිය හැකියි. මෙවැනි ආතති සහගත කාලවලදී මෙම සම්බාහන මධ්‍යස්ථාන වෙත යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ ලිංගික ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි විය හැකියි. බහු හවුල්කරුවන් සිටින ප්‍රජාවන් ලිංගාශ්‍රිත රෝග සඳහා ඉහළ අවදා නම් සහිත පිරිසක් ශ්‍රී ලංකා ලිංගික සම්ප්‍රේෂණ රෝග ඒකකය මෙරට සිටින රාජ්‍ය නොවන සංවිධාන රැසක් සමග එකාබද්ධව කටයුතු කරන අතර එමඟින් බොහෝ රෝගීන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙනවා” යැයි ශ්‍රී ලංකා ලිංගික සම්ප්‍රේෂණ රෝග ඒකකයේ (STDU) ජාතික සම්බන්ධීකාරක සමාජ රෝග පිළිබඳ විශේෂඥ ගීතානි සමරවීර මහත්මිය පවසයි.

 මේ වනවිට හදුනාගෙන ඇති රෝගීන්ගෙන් සැලකිය යුතු කොටසක් වයස අවුරුදු 30ට අඩු අය බවත්, ඒ අනුව රටේ තරුණ පරම්පරාව තුළ රෝග පැතිරීම වැඩි වීමක් පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 2022 පළමු භාගයේදී හදුනාගත් ලිංගාශ්‍රිත රෝගීන්ගෙන් 1688 ක් වයස අවුරුදු 15-49 අතර පිරිමින්වේ. රෝගීන් 2610ක් එකම වයස් කාණ්ඩයේ කාන්තාවන් වන අතර, මෙම වැඩිවීමට විවිධ සාධක බලපා හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

තරුණයන් අතර මෙන්ම කාන්තාවන් අතරද මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි වීමක් පෙන්නුම් කරයි. අයිස් භාවිතයද (Crystal methamphetamine - ICE) වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු තරුණ පිරිස් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් සඳහා වඩාත් ප්‍රිය කරන අතර ඒ හේතුවෙන්ද රෝග පැතිරයාමේ අවදානමක් පවතී.  තරුණ පිරිස් අන්තර්ජාලය හරහා ලිංගික සබඳතා සඳහා වැඩි වශයෙන් නිරාවරණය වන බවක් පෙනෙන්නට තිබේ. නිසි මග පෙන්වීමක් සහ අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් වඩාත් අවදානමට ලක්වන බවද දැකිය හැකිය.


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා