ambalangoda-bus-stand-pros

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම් පොළේ අරක්ගෙන සිටින ගණිකාවන්ගෙන් නගරයේ ප්‍රධාන පාසල්වල සිසුන් බේරා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බව බස් නැවතුම් පොළ වෙළෙඳ සැල් හිමියන් සහ නගරවාසීහු කියති. මේ වනවිට අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ පාදක කර ගනිමින් ගණිකාවන් පහළොවකට ආසන්න කණ්ඩායමක් සිටින බවත් මොවුන් පාසල් සිසුන්ට ඉතා ඉහළ මිලකට අලෙව් කිරීමට තැරැව්කරුවන්ද මීට නොදෙවෙනි සංඛ්‍යාවක් සිටින බව ද ඔවුහු කියති.

අමතර පංතිවලට යාමට සහ කෑමට බීමට නිවෙස්වලින් දෙන මුදල් එකතු කොට බොහෝ පාසල් සිසුන් පාසල් සහ අමතර පංතිවලට නොගොස් බස්නැවතුමේ සිටින තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් ගණිකාවන් සොයා ගෙන ලැගුම්හල් කරා යාම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නොවන බවත් අම්බලන්ගොඩ බස් නැවතුමේ වෙළෙඳ සැල් හිමියෝ කියති.

මීට එරෙහි වීමට නොහැක්කේ සිය දිවි බිලි දීමට නොහැකි බැවින් බවද ඔවුහු කියති.

"යුක්තියේ මෙහෙයුම" මත්ද්‍රව්‍යවලට පමණක් නොව මේ ව්‍යසනයටත් යොදා මේ අකටයුත්තෙන් පාසල් සිසුන් මුදා ගන්නා ලෙස තමන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කීහ.මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියෙන් විමසූවිට  එහි ප්‍රකාශකයකු පවසා සිටියේ බස් පොළේ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවත් මේ සා විශාල සංඛ්‍යාවක් බස් පොළේ ගණිකා වෘත්තියේ යෙදෙන බවට තමන්ට තොරතුරු ලැබී නැති බවත්ය.


කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්න