anuradapura-incident

අනුරාධපුර නගරයේ ඇතැම් උපකාරක පන්තිවල පන්ති ගාස්තුවට අමතරව විදුලි බිල්පත් ගාස්තුවක් ද තම දරුවන්ගෙන් එම උපකාරක පන්ති පවත්වා ගෙන යන ගුරුවරුන් අයකරන බව මවුපියෝ චෝදනා කරති.

අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන උපකාරක පන්ති සංඛ්‍යාව සියකට අධිකය.

පන්ති ගාස්තුවට අමතරව විදුලි ගාස්තුව වශයෙන් එක් සිසුවකුගෙන් රුපියල් සියක අමතර මුදලක් අයකරන බව ද ඔවුහු පෙන්වා දෙති.



සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

අනුරාධපුර නගරයේ උපකාරක පන්ති සීයකට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. අවම පන්ති ගාස්තුව රුපියල් දාහක් වෙනවා. උසස් පෙළ විභාගයට අදාළ එක් විෂයක් සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් එක් සිසුවකුගෙන් රුපියල් පන්දහසක් පමණ මුදලක් අය කරනවා.

එසේ තිබියදී එම සිසුන්ගෙන් පන්ති ගාස්තුවලට අමතරව විදුලි බිලටත් රුපියල් සීයක මුදලක් අයකරනවා. මේ හරිම අසාධාරණක්. පොත්පත්වල හා පාසල් උපකරණ වල මිලත් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පංති ගාස්තු මුදලක් ඉහළ ගොස් තිබෙනවා. පාසල් යන වයසේ දරුවන් දෙතුන් දෙනකු ඉන්න දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැය වෙනවා. මේ වියදම දෙමාපියන්ට දැරීම ඉතාමත් අසීරුයි. දරුවන්ට හරි හැටියට තුන්වේල කන්න දෙන්න බැරි,

ඇඳුමක්වත් අරන් දෙන්න බැරි අවස්ථාවක මේ ආකාරයට විදුලි ගාස්තුව විදියටත් අමතරව රුපියල් සියක මුදලක් අයකිරීම ඉතාමත් අසාධාරණයි.

උපකාරක පන්ති සම්බන්ධයෙන් නියාමනය කිරීමට නිසි ආයතනයක් නොමැති බවත් ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 අනුරාධපුර දයාරත්න ඇඹෝගම