ක්‍රි.ව 5 වන සියවසේ ධාතුසේන රජු විසින්, කලාවැව අවුකන ගම්මානයේ බටහිර දිසාවේ ඉදිකරවා ඇති අවුකන බුදු පිළිමය, පුරාණ ප්‍රතිමා නිර්මාණකරණය අනුව සම්මතයන් තුළ කරන ලද නිර්මාණයක් ලෙස විද්වත්හු අගය කරති. වැවයි දාගැබයි නමැති සිංහල බෞද්ධ හැදියාව වෙනුවට, වැවයි පිළිමයයි යනුවෙන් වෙනස් මගක සංස්කෘතියක් විදහා දැක්වීමට එදා කෘෂිකර්මාන්තයට මහත් මෙහෙයක් කළ ධාතුසේන රජතුමා නැඹුරු වන්නට ඇතැයි ඉතිහාසය දක්වයි. අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු කාලපරිච්ජේදයක් වූ බැවින් , මෙම පිළිම නිර්මාණය ක්‍රි.පූ 3 හෝ 4වන සියවස් තුළ කෙරෙන්නට ඇතැයි මහාචාර්ය පරණවිතාන සූරීහු දක්වයි.
විද්වතුන්ට අනුව අවුකන පිළිමය සහ මාලිගාවිල පිළිමය වැනි නිර්මාණ නිර්මාණාත්මක අගයෙන් යුත් හිටි පිළිමවහන්සේලා අතර වැදගත් තැනක් ගනියි. එයින්ද මාලිගාවිල පිළිමය වටේටම ගලෙන් කළ එකක් වන අතර, අවුකන පිළිමය පිහිටි ගලක කළ නිර්මාණයකි.
මහාවංශයේ කාලසේල පිළිමය ලෙස දක්වන්නේ මෙම පිළිමය යැයි මහාචාර්ය පරණවිතාන සූරීහු පවසති, ශිලාමය පද්ම පීඨයක නෙළා ඇති මෙම පිළිමයේ මුහුණ, බෙල්ල, පපු නාභිය, ලිංග නාභිය, කලවා, දණ කෙණ්ඩ, විළුබ ලෙස එම නවාලය දැක්වෙයි. පිළිමයේ උස අඩි 38 අගල් 10 කි. සිරස්පත සමග උස අඩි 46 අගල් 4කි. අමරාවතී බුදුපිළිම තුළ දක්නට ලැබෙන පිළිමවල ශෛලිය මෙම පිළිම නිර්මාණය තුළද දක්නට ඇතැයි පැවසෙන අතර, ඇතැමෙකුගේ මතය අනුව මෙය ගෞතම බුදුන්වහන්සේගේ නොව දීපංකර බුදුන්ගේ රුව විය හැකි යැයිද මතයකි.
මෙම පිළිමය සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් වන්නේ පිළිමයේ සිරසට වැටෙන වැසි බිංදු නාසය දිගේ පහළට ගලාගෙන විත් පහළ ඇති සිරිපතුල් දෙක මැදින් එකම තැනකට පතිත වීම බව ඉතිහාසඥයෝ අවධාරණය කරති. එයින් මෙම පිළිමය නෙළීමේදී ලම්බකය කෙරෙහි දක්වා ඇති අවධානය මැනවින් නිරූපණය වෙයි.
බරණ නමැති ගල් වඩුවෙකු විසින් මෙම පිළිමය ඉදිකළේ යැයි මතයකි. ඔහුට අවශ්‍ය පුහුණුව ලබාදීමට අවුකන් රාජ්‍යයෙන් ගල් වඩුවෙකු මෙරටට ගෙන්වා ඇති බවටද මතයකි. ඒ අනුව මෙම පිළිමය අවුකන පිළිමය වන්නට ඇතැයි මතයකි. එසේම බරණ ශිල්පියාට රජු විසින් ගම්වරයක් තෑගි ලබාදුන් අතර, එම ගම ගල් වඩුවාගම නමින් අදටත් ප්‍රචලිතය.
විද්වතුන්ට අනුව මෙම පිළිමයේ ඇති ඉතා වැදගත් අංග ලෙස ඒකාංශ රූපණයෙන් යුත් රැළි සහිත සිවුර එකකි. එය වම් අතින් දරා සිටියි. උරහිස මට්ටමට ඔසවාගෙන ඇති වම් අතේ කටක මුද්‍රාව නිරූපණය වෙයි. දකුණතින් අභය මුද්‍රාව දක්වා තිබේ. පිළිම වහන්සේගේ ශීර්ෂයට ඉහළින් ඇති සිරස්පත පසුකලෙක සවි කළ එකක් බවට පුරා විද්වත්හු මත පළ කරති. එම සිරස්පත ගැලවී වැටී තිබී වර්ෂ 1870 පමණ සොයා ගත් බව පැවසේ. ඒකාංශ කර පොරවා ඇති සිවුරෙහි රැළි එකිනෙකට සමාන්තරව කඩා වැටෙන ලෙස නිර්මාණය කර තිබේ. එසේම සිවුර සිරුරටම ගෑවෙන ලෙස සහ විනිවිද නිරූපණය වන පරිදි දක්වා තිබීමද කලාකරුවාගේ දක්ෂතාව ලෙස ඇගයුමට ලක්ව තිබේ. ඇතැම් සෞන්දර්යවේදීන්ට අනුව කලාවැවේ දිය රැළි සමග නිර්මාණය වන මද සුළඟ විසින් සිවුර සෙලවෙන ආකාරය පිළිමය දෙස නිසොල්මන්ව බලා සිටින අයෙකුට දැනෙන්නේ යැයි ඇගයීමකි.
පිළිමය නිර්මාණයේදී ගෙල, මුහුණ, දිගටි ඇස්, ඝන දෙතොළ තොල් පෙති, සිහින් ඇස් බැමි, පළල් නළල ආදිය තුළින් මහා ගෞරවයක්, අභිමානයක් නිරූපණය කිරීමට කලාකරුවා උත්සාහ කිරීමෙන්, එහි තේජාන්විත බවක් නිරූපණය වන බව නිර්මාණශීලීහු පෙන්වා දෙති. එයින් යමෙකු අපේක්ෂා කරන ඇතැම් ගුණයන් ගිලිහී යාමක් දැකිය හැකි වුවද, එයද අවුකන පිළිම වහන්සේගේ නිර්මාණයේ දැකිය හැකි තවත් සුවිශේෂ බවක් ලෙස විවරණය කෙරේ. පොදුවේ දෙතිස් මහා ගුණයෙන් යුතු බුදුහිමියන්ගේ රුව නිර්මාණය කිරීම පහසු නොවන කරුණකි. එහෙත් ගලින් කළ එම නිර්මාණය තුළ බුදුහිමියන්ගේ මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ නිර්මාණය කිරීමට නිර්මාපකයා ගෙන ගෙන ඇති උත්සාහය ඇගයුමට පාත්‍ර වූ කරුණකි.
සිවුරු පෙරවූ අවුකන පිළිමය
කලාකරුවා තමන්ට සිතන දේ නිර්මාණය කරයි. එහෙත් එම නිර්මාණය තුළ ඇත්තේ ඔහුගේ අදහසක් වුවද එයින් ගම්‍ය වන අරුත ජාතියටම ගෙනදෙන්නේ සතුටකි. වින්දනයකි. අලුත් අත්දැකීමකි. භාවාත්මක විවරණයකි. එනිසා කලකරුවා සහ එම නිර්මාණය යන දෙකම ජාතික වස්තූන් බවට පත්වෙයි. එය තවදුරටත් ජනගත වීම සමග විශ්වය පුරා එය ජාතික උරුමයක් බවට හෝ ජාතියක අනන්‍යතාව බවටද පත්වෙයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය සහ හෙළ කලාව උරුමය කරගත් සංස්කෘතියක් තුළ අදටත් අවුකන පිළිමවහන්සේට ඇත්තේ සුවිශේෂ අගයකි. එවැනි ප්‍රතිමාවක් වෙනුවෙන් සිදුවූ මේ අවමානය සම්බන්ධයෙන් අප වියත් යතිවරයාණන් වහන්සේ නමකගෙන් විමසුවෙමු.
"පිළිමවහන්සේලාට හෝ බෝ ගස් වටා, නැතහොත් චෛත්‍යය වටා රෙදිපිළි දැවටීම හෝ සළුපිළි ඇන්දවීම බෞද්ධ දර්ශනයේ කොතැනකවත් සදහන් කර නැහැ. වසර දෙදහසක පමණ අතීතයක් ඇතැයි විශ්වාස කරන අවුකන පිළිම වහන්සේ මෙතෙක් කල් අව් වැසි, ස්වාභාවික විපත් හමුවේ පවා නිරුපද්‍රිතව ජනතාවගේ පුද ලබන ආකාරයත්, ඒ සියල්ල එම පිළිමවහන්සේට ලැබුණේ එකී නිර්මාණයට ඇති කලාත්මක අගය තුළ සැඟවුණු කරුණා ගුණය සහ තේජාන්විත භාවයත් නිසයි.” උන්වහන්සේ අවධාරණය කළේය.
එසේම වෙළෙඳ සැලක කාන්තා හෝ පිරිමි ඩමියකට සරමක්, සාරියක් පෙරවන්නාක් සේ සිදුකරන ලද මෙම නොමනා ක්‍රියාවෙන් සැබවින්ම සිදුවූයේ අවුකන පිළිමවහන්සේ ලෝකවාසීන්ගේ හාස්‍යයට ලක්කිරීම යැයි උන්වහන්සේ තවදුරටත් පෙන්වා දුන්හ.
රට පුරා සදහැතියන් ’අනේ අපොයි' යනුවෙන් මෙවැනි විකෘතීන් පෙන්වා දෙන්නේ මෙය හිතාමතා බුදුදහම අවඥාවට ලක් කිරීමට බෞද්ධයන් වෙත මුදල් ගෙවා අන්‍යාගමිකයන් ගන්නා පහත් උත්සාහයක ප්‍රතිඵලයක් නිසාදයි ඇතමෙකු සැක පළ කරති. ඇතැම් ව්‍යාපාරිකයන් පබළු ඇටවලින් සැරසූ බුදුපිළිම අලෙවි කරන ආකාරය සහ ජනතාව ඒ වටා ගොනු කරමින් සිය මඩිය පුරවා ගන්නා කයත් උපක්‍රමයකි. බුදුහිමියන් වෙනුවෙන් පළතුරු, ගිලන්පස පූජා නමින් රුපියල් දසදහස් ගණන් වැයකර පුජා වට්ටි සියදහස් ගණනින් පූජා කරන කෘත්‍රිම වන්දනාමාන ක්‍රම ජනගත වන්නේ යැයි ශාසන හිතකාමී භික්ෂූන් වහන්සේලාගෙන් චෝදනාවකි. අවුකන පිළිමවහන්සේටද පාවහන් යුගලක් පිරිනැමුණු අතර, එය මේ වන විට බොහෝ විහාරස්ථාන ආශ්‍රිතව කෙරන විකෘති ඇදහිල්ලක් බවට පත්ව ඇත.
"මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්න ඉස්සර සමාධි පිළිමයටත් සළුපිළි අන්දවයි. මෙවැනි දේ මෝස්තරයක් කරගෙන පන්සල්වල බුදුපිළිමවලට රෙදිපිළි ඇන්දවීමේ මහා පූජාවන් සංවිධානය කරයි. දැනට අවුරුදු කීපයකට ඉස්සර පොළොන්නරුවේ ගලින් කළ විහාරයකත් මේ වගේ දෙයක් ඇහුණා. එයටත් ජනතා විරෝධය එල්ල වුණා.” යැයි අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේනමක් පැවසූහ.
උගත්, වියත්, විනයධර මහනායක හිමිවරුන්,විහාරස්ථාන පාලක භාරකාර හිමිවරුන් මෙවැනි සදොස්දේ නොවිය යුතු බව පෙන්වාදීමට දක්වන්නේ මැලිකමක්. එම නිහඬ බව සහ මුනිවත තුළද යම් ගුප්ත බවක් පවතී.
සීගිරි ලලනාවන්ට ඩෙනිම් අන්දවන කාලය වැඩිදුරක් නෙවෙයි. සමහරවිට ඔවුන්ට තිසරපට අන්දවා එය අලෙවි මාර්ගයකටත් යොදාගන්නට වැඩි කලක් ගත නොවේ. ජෛන විහාරය ලංකාවේ තිබුණා නම් එම දැවැන්ත පිළිරුවේ නිරුවත වැසීමට යැයි රෙදිපිළි ඇන්දවීමේ මහා මංගල්‍යයන් මෙරට සංවිධානය විය හැකියි. අපේ රටේ ආගම දහම සහ හැදියාවට සිදුව ඇත්තේ කුමක්ද? ආගම යනු සංවේදී කරුණකි. සංස්කෘතිය වෙනස් විය යුතුය. බුද්ධ ධර්මය එකකි. ආගම යනු ඉන්ස්ටිටියුට් එකකි. බුද්ධ දර්ශනයේ හරය වෙනස් කළ නොහැක. මහනායක හිමිවරුන්, ගෞරව සම්මානලාභී නායක හාමුදුරුවරුන්, විහාරස්ථාන භාරකාර හමුදුරුවන් වහන්සේලා මෙරට විරල නැත. මේ හැමදෙයක්ම සිදුවන්නේ උන්වහන්සේලා නොදැනුවත්ව නොවේ. එනිසාම ආගම නමින් සිදුවන මෙවැනි විප්‍රකාර මහා අර්බුදයක මුල නොවන්නේද?
අවුකන බුදුපිළිමය නිරුවත් පිළිමයක් නොවේ. එහි චීවරය කලාවැවේ දිය රළ පහර අනුව සෙලෙවන තරම් නෙත රවටන තරමට නිර්මාණය කර ඇතැයි කලා නෙතින් එය දකින කලාකරුවෝ එදත් අදත් රසය මතු කරති. එනිසා රෙදි ඇන්දවීමෙන් කරන්නේ පිළිමය ඩමියක් බවට පත් කරවීම පමණි.වත්තලින් පැමිණි හෝ මහාචාර්ය හෝ දොස්තර නඩවල පනහකට අවශ්‍ය පරිදි සිවුරු රෙදි පෙරවීමට සහ එහි සිරස දක්වා ඉහළට නැගීමට ඔවුන්ට බලය ශක්තිය ලැබුණේ කෙසේද? ඒ සදහා යෙදවූ බරපැණක් හෝ වත්කම් මොනවාද? පැය තුනක් ඇතුළත එය ගලවා ඉවත් කළේ ඇයිද? ඒ අතර කැලණි විහාරයේ එදා සිතුවම් කර්මාන්තයේ යෙදුණු සෝයිලියස් මැන්දිස් ශිල්පියා බැහැර කර වත්තල පල්ලියක පූජකවරයෙකු එම සිතුවම්කරණයට යොදා ගත් විහාරස්ථ බෞද්ධ දායක සභාවක් ගැනද ජනතාව නිකමට මෙන් සිහිපත් කරති. භක්තිය එකකි. අන්ධ භක්තිය එයට වෙනස්ය. උගත්කම පොතපතෙන්ය. බුද්ධිමත් බව, දැනුම අත්දැකීම් ඇසුරෙනි. මහාචාර්යතුමාට වරදින්නට ඇත්තේද එතැන යැයි ජනතාව චෝදනා කරති.
විහාරස්ථානවල ඇතැම් නායක හිමිවරුන්ට බුද්ධ දර්ශනය නැවත ඉගැන්විය යුතුද? ඇතැම් රජ මහා විහාරයන්හි නායක හිමිවරුන්ට, භාරකරුවන්ට, පුරාවිද්‍යාවේ අගය සහ එකී අණපනත් සහ ඉතිහාසය ඉගැන්විය යුතුදැයි විද්වත්හු අසති. බහුතරයක් විහාරස්ථානවල ධර්ම ශාලා, බුදුමැදුරු කවදාවත් වැඩ ඉවර වෙන්නේ නැතැයිද, එය නොමළ ගෙයකින් අබැටක් සොයා ගැනීම තරම් අසීරු කරුණක් යැයිද දායකයෝ පිළිකුළෙන් පවසති.
"වරදවා වටහා ගත් සත්‍යය තරම් නරක බොරුවක් තවත් නැතැයි, පැවසේ. නිර්මල බුදුදහම සහ ඊනියා බෞද්ධයන් විසින් අද බුදු දහමට සිදුකරමින් සිටින්නේද එයමය.සීගිරියේ කුරුටු ගී මත කොණ්ඩා කටුවෙන් කුරුටු ගෑ යාපනයේ දැරියට දුන් දඞුවම මෙන්ම, මෙම සිදුවීමේදීද පුරාවිද්‍යාවේ විනිශ්චය දෙස ජනතාව බලා සිටින බව පමණක් මෙසේ සටහන් කරමු.
(අවුකන සංචාරයකින් පසු ජනතා අදහස් ඇසුරෙන් සකස් කළ ලිපියකි.)
විමසුම - ලාල් ජයසුන්දර
0 Comments