baby-dies-birth-three-wheeler

නාන කාමරයේ වැටී අසාධ්‍ය තත්වයෙන් පසුවූ සයමස් ගැබිනි කතක් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථය තුළ උපන් බිලිදා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල කටුවන ප්‍රදේශයේ සිට පැමිණ නවගමුව යශෝධරා මාවතේ කුලී නිවසක පදිංචිව සිටි ගැබිනි කාන්තාවකට උපන් බිලිඳකු බව පොලිසිය කියයි.මීට මාස හයකට පමණ පෙර ගැබිනි කාන්තාව මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇති අතර අලුයම කාලයේදී නාන කාමරයට ගොස් යළි පිටතට එමින් සිටියදී එක්වරම පය ලිස්සා මෙසේ වැටී අනතුරකට ලක්ව තිබුණි.

පසුව ඉන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ කත ප්‍රතිකාර සඳහා ත්‍රිරෝද රථයකින් හෝමාගම මූලික රෝහලට රැගෙන යමින් සිටියදී ඇයට ඇතිවූ අධික විලිරුදා තත්ත්වය නිසා ත්‍රිරෝද රථය මාර්ගයේ පසෙක නවත්වා එහි දෙපස වැසි ආවරණ රෙදිවලින් වසා මද වේලාවක් රැඳී සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව තිබේ.

ඉන් මද වේලාවකට පසුව උපන් බිලිඳා ද සමඟ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි මූලික ප්‍රතිකාර ඒකකයේදී පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ බිලිඳා මියගොස් ඇති බවයි. එහිදී  කාන්තාව රෝහලට පවසා ඇත්තේ බිලිඳු කළලයට මාස දෙකක් පමණ වන බවත් දෙදෙනා විවාහ වී ඇති බවත්ය. ඒ අනුව බිලිඳු මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට යාමේදී අඹුසැමියන්ගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති අතර ඉදිරිපත් කළ තොරතුරු පරස්පරවීමත් නිසා දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී දෙදෙනා වලස්මුල්ල කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දෙදෙනාටම දරුවන් තිදෙනා බැගින් සිටින බවත් කාන්තාවගේ සැමියා සහ පිරිමියාගේ බිරිඳ දරුවන් සමඟ වාසය කරන බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.



ඒ අනුව මියගිය බිලිඳාගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය ලවා සිදුකරන ලෙසට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පොලිසියට නියෝග කළේය. ඒ අනුව බිලිඳු මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් හෝමාගම මූලික රෝහලේදී 11 දා සිදු කිරීමට නියමිතව තිබුණි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න