be-aware-for-cheap-stationaries

ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ශරීරයට බැරලෝහ ඇතුළුවී පිළිකා ඇතුළු රෝග ගණනාවක් වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආරියා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා පැවසීය.

ආනයනික බාල තත්ත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේදී ඒ බව අනාවරණය වූයේ යැයිද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙරේදා (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය වික්‍රමාරච්චි මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වයෙන් බාල උපකරණ භාවිතයේදී දරුවන්ගේ ශරීරයට අහිතකර බැරලෝහ ඇතුළු විය හැකි අතර එමගින් පිළිකාව, පීනස, හතිය සහ දද වැනි රෝග වැළඳිය හැකි බවද ඔහු කීය.

එම ප්‍රවෘත්ති සකාච්ඡාවේදී වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා මෙසේද පැවසීය.

අනායනික ප්‍රමිතියෙන් තොර පැන්සල්, පාට පැන්සල්වල ආලේප කර ඇති වර්ණවල බැරලෝහ අඩංගු වෙනවා. දරුවන් සම්බන්ධ අන්තර් ජාතික ප්‍රමිතියක් තියෙනවා EN71- 3 කියලා. බාල වර්ගයේ උපකරණවල එම ප්‍රමිතිය නැහැ.



ප්ලාස්ටික් සම්බන්ධ අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව භාවිතයට සුදුසු ප්ලාස්ටික් ශ්‍රේණිගත කර තිබෙනවා. ඒවා 01-02-03- 04-05 ලෙස නම් කර තිබෙනවා. ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි මිලදී ගැනීමේදී පිටත පතුල මත අංක 5 සඳහන් කර ඇති ඒවා ගත යුතුයි.

ප්ලාස්ටික් වර්ගවල BPA නම් පිළිකාකාරක රසායනිකය අඩංගුයි. එම නිසා ඒවා භාවිතයේදී පීනස, හතිය, දද වැනි වර්ග ඇති විය හැකියි. ඉතා සුළු ලාභයක් ගැන සිතා ආනයනික ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ මිලදී නොගන්නැයි ජනතාවගෙන් ඉල්ල සිටිනවා යැයිද ඔහු පැවසීය.

 රංජන් කස්තුරි