A-divorce-obtained-by-a-foreign-court-after-marriage-in-Sri-Lanka-is-valid-in-Sri-Lanka-a-court-decision

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මගින් අවලංගු වේ. එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.



මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි. තීන්දුවේ මෙසේ සඳහන් වේ.

පෙත්සම්කරු සෙව්වන්දි නාගසිංහ නමැත්තිය සමඟ 2010 වසරේදී ශ්‍රී ලංකාවේ දී විවාහ වූ පසු එංගලන්තයේ ස්ථිර පදිංචියට ගොස් ඇත. ටික කලෙකින් විවාහය බිඳ වැටී ඇති අතර කඩුවෙල දිසා අධිකරණය හමුවේ දික්කසාද නඩුවක් ගොනු කර ඇත.

ඒ අතරතුර සෙව්වන්දි නාගසිංහ නමැත්තිය එංගලන්තයේ කිංග්ස්ටන් පවුල් අධිකරණයේදී දික්කසාද නඩුවක් පවරා 2018 වසරේ දී දික්කසාද සහතිකය ලබාගෙන තිබේ.

ඒ අනුව එංගලන්තයෙන් දුන් දික්කසාදය පිළිගන්නා ලෙසට මෙරට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.



ඉන් අනතුරුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

දික්කසාද නීතිය යටතේ සුදුසු අධිකරණයක නඩු පවරා දික්කසාදය ලබා ගත යුතු බවට ප්‍රකාශ කර තිබුණද එම අධිකරණය ශ්‍රී ලංකාවේ අධිකරණයක් විය යුතු බවට සඳහනක් නොමැති බැවින් විදෙස් රටකදී සිදුවූ දික්කසාදයක් මෙරට දී ත් වලංගු වන බවට තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන බවද තීන්දුවේ සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාදි වික්‍රමසිංහ මහත්මිය සමඟ සේනානි දයාරත්න මහතා පෙනී සිටියේය.

වග උත්තරකරුවන් වෙනුවෙන් නයෝමි කහවිට සහ එම්. ෆර්නැන්ඩෝ ප්‍රනාන්දු යන මහත්ම මහත්මිහු පෙනී සිටියහ.
- රංජන් කටුගම්පොළ