The-reason-for-the-Kelani-University-conflict-was-abuse-by-security

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරීන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයක් නිසා මේ වනවිට කැලණිය සරසවිය වැසී ගොස් තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු  3වනදා අලුයම පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කර තිබුණි. ඔහු නේවාසිකාගාරයේ නිදා සිටියදී  අලුයම පැමිණ සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට ගෙන යතුරුපැදියක බලහත්කාරයෙන් නංවාගෙන විශ්වවිද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානයට රැගෙන ගොස් මෙම පහරදීම කර ඇති බව වාර්තා විය.

ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සමග ඇතිවූ ගැටුම් කාරී තත්වය මත සිසුන් 4 කගේ පන්ති තහනමක්ද සිදු කර තිබේ. කෙසේ වෙතත් සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ මෙම සිද්ධිදාමයේ ආරම්භය කාන්තා අපයෝජනයක් නිසා මතුවූ බවයි.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමියෝ පවසන්නේ  විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමුවැනි වසරේ ඉගෙනුම ලබන ආබාධිත සිසුවකුගේ මවකට ලිංගික බලපෑමක් කිරීමට ආරක්ෂක අංශ නිලධාරියා උත්සාහයක යෙදුණ බවයි.



මේ සම්බන්ධයෙන් එම ආබාධිත සිසුවාගේ මවත්, ශිෂ්‍ය සංගමයත් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට හා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇතැයි ද උන්වහන්සේ කීහ.

විශ්වවිද්‍යාලයීය පරිපාලනය මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්‍ෂණ සිදු නොකර සිද්ධිය යටපත් කර විශ්වවිද්‍යාලය හිටි හැටියේ වසාදැමූ බව ද උන්වහන්සේ කියා සිටියහ.

තවදුරටත් අදහස් දැක්වූ සුමේධ හිමියෝ මෙසේද පැවසූහ.

“විශ්වවිද්‍යාලයේ පක්‍ඳ්ඤාරාම නේවාසිකාගාරයේ 1 වැනි වසරේ කලා අංශයේ ආබාධිත මල්ලි කෙනෙක්ගෙ මව නැවතී ඉඳලා තියෙනවා. ඒ ළමයා රෝද පුටුවෙන් යන්නේ. ඒ වැඩ කටයුතු පහසුවට උදව්වක් ලෙසයි අම්මා හිටියේ. විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරියෙක් සිකුරිටි රූම් එකට එන්න කියලා ඒ අම්මාට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම ඇය නැවතී සිටි කාමරයේ දොර වහලා ජනේලයක් ඇරලා තියන්න කියලත් තියෙනවා. තව තව දේවල් කියලා බලපෑම් කරලා තියෙනවා. මේ ගැන ඒ අම්මා අපේ සහෝදර ශිෂ්‍යයෙකුට කිව්වාට පස්සේ තමයි ඔය බලපෑම කරපු ආරක්‍ෂක නිලධාරියාව අරගෙන ඇවිත් කැම්පස් එකේ ගේට්ටුවේ ගැටගැහුවේ. මේකට අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වගකියන්න ඕනෑ.

ඔය කියන තරම් පහරදීමක් වුණේ නැහැ. හරි ක්‍රමයට නම් මේ දෙපාර්ශ්වයම කැඳවලා විශ්වවිද්‍යාල පරිපාලනය කරුණු විමසන්න ඕනෑ. නමුත් ඒ වෙනුවට කළේ අර ආරක්‍ෂක නිලධාරියාට දරුණු විදිහට ගැහුවා කියලා කිරිබත්ගොඩ රෝහලේ ඇඩ්මිට් කරපු එකයි. ඒ වගේම හිටි හැටියේම කැම්පස් එකත් වැහුවා. ඒ මොකද මේ සිද්ධිය යට ගහන්නයි.

මේ ලිංගික බලපෑම විතරක් නෙවෙයි මීට පෙරත් විශ්වවිද්‍යාල සිසුවියන්ට ඇතැම් උමතු ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ලිංගික බලපෑම් සිදුවී තියෙනවා. මේවා විශ්වවිද්‍යාල පරිපාලනයට පැමිණිලි කළාම ඒවා යටපත් කරනවා.

ඈත දුෂ්කර ගම්වල දෙමාපියන් තමන්ගේ දරුවව විශ්වවිද්‍යාලයට එවන්නේ දැඩි විශ්වාසයෙන්. ඒත් මේ වගේ උමතු ආරක්‍ෂක නිලධාරීන් ඉන්න තැනක් කියලා ඔවුන් දැනගත්තාම මොන තරම් වේදනාවකට පත්වෙයිද? අනධ්‍යයන කාර්ය මණ්ඩලය යටතේ මේ සිකුරිටි එක තියෙන්නේ.



මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 4 දෙනකුගේ පන්ති තහනම් කරලා. ලිංගික බලපෑම කරපු ආරක්‍ෂක නිලධාරියාට එරෙහිව පියවරක් ගන්නවා වෙනුවට සිසුන් වැරදිකරුවන් කරලා. එකපාරටම කැම්පස් එක වැහුවම නේවාසිකව ඉන්න සිසුන් කොහේ යන්නද?

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්‍ද්‍රජිත් ශිෂ්‍යයා මෙසේ පැවසීය.

“කැලණිය විශ්වවිද්‍යාලයේ මානසික රෝගීන් වගේ ඉන්න ආරක්‍ෂක නිලධාරීන්ව වහා ඉවත් කරන්න. විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටින අය මේ වගේ හැසිරෙනවා නම් මේකට වහා පියවර ගන්න.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශ නිලධාරියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

එම සිද්ධියට මුහුණ පෑ ආරක්‍ෂක නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කිරිබත්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

සිද්ධියෙන් පසු පෙරේදා (04දා) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි වෛi පීඨය සහ තාක්‍ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.