A-patient-brought-National-Hospital-intensive-care-after-injection

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියකුට එන්නතක් දීමෙන් පසු අසාත්මිකතාවට ලක්ව බරපතළ තත්වයේ පසුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.මෙම රෝගියා පපුවේ මහන්සිය හා බඩේ අමාරුවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පසුගිය 9 දා ඇතුළත් කර ඇති බවද එහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඔහුට සෙෆ්ලයැක්සොන් නමැති ප්‍රතිජීවක ඖෂධය එන්නත් කර ඇති බවද එම ආරංචිමාර්ග කියයි.





එම එන්නත දීමේදී තමාගේ අත පණ නැති වනවා මෙන් දැනෙනවා යැයි රෝගියා පවසා ඇති බවද වාර්තාවේ. එන්නත දී සුළු වේලාවකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී බරපතළ ලෙස අසාධ්‍ය වීම නිසා රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද, ඔහුගේ රුධිර පීඩනය හා පෙනහැල්ලේ ඔක්සිජන් ධාරිතාව දැඩි ලෙස අඩුවී ඇතැයි පසුව කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද වාර්තාවේ.

මෙම එන්නතේම ඉන්දියානු නිෂ්පාදනයක් දීමෙන් අනතුරුව මහනුවර මහ රෝහලේදී රෝගියකු මියගොස් ඇති බවද මෙම එන්නත එම කාණ්ඩයටම අයත් වූවක්ද නැතහොත් වෙනත් කාණ්ඩයකට අයත් වූවක්ද යන්න සම්බන්ධයෙන් තවම අනාවරණ වී නැති බවද දැන ගන්නට ඇත.

මේ සම්බන්ධයෙන්  කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
මුදිතා දයානන්ද