අන්තර්ජාලයට වීඩියෝ මුදාහරිමින් බෞද්ධාගමට අපහාසයක් හා ආගමික සංහිඳියාව බිඳී යන ක්‍රියාවක් කළේ යැයි කියන රත්නපුරේ විමල බුද්ධි හෙවත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් චීවරධාරියකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්ඩ්ස් මහතා 13 දා නියෝග කළේය.සැකකරු ජාතික මානසික වෛද්‍ය ආයතනයට ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද අධිකරණය නියෝග කළේය.

ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් හැසිරුණු චීවරධාරියකු යොදා ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් හෝ ජාත්‍යන්තර ජාලයක් මෙරට ආගමික සංහිඳියාව නැති වන ආකාරයේ ක්‍රියාදාමයකට අර අඳින්නේද ? ඊට මුදල් ලැබෙන්නේ කෙසේද? යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් එහෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

සැකකරු අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝ දර්ශන හා ඊට අදාළ ඡායාරූප රැසක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

“බෞද්ධයන් හා බෞද්ධ  භික්ෂූන් අතර ආගමික වෛරයක් ඇති කරන ආකාරයේ වීඩියෝ පළ කරමින් හැසිරෙන රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධා නමින් සමාජ මාධ්‍යයේ සැරිසරන සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත අප නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සියලු සමාජ මාධ්‍ය උපුටා දක්වමින් මෙය විමර්ශනය කළ අතර සැකකරු ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යයේ සිවුරු දමා ගෙන හැසිරෙන ආකාරයක් පිළිබඳව නිරීක්ෂණයට ලක් කළා.

මේ වීඩියෝ දර්ශන එකකට එකක් වෙනස් හෝ වෙන් වෙන් වශයෙන් ගත හැකි දර්ශන නොවෙයි. එකිනෙකට සම්බන්ධ ජාලයක් මෙම සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. මොහු එක් වරෙක චීවරය සුනඛයකුට අන්දනවා තවත් වාරයක වාහනයක කාන්තාවන් සිවු දෙනකු තබාගෙන සමාජ මාධ්‍යයට වීඩියෝ දානවා.

රාත්‍රියට ටික්ටොක් මාධ්‍ය ඔස්සේ ලයිව් එනවා. මොහු භික්ෂුවක් ද යන්න පිළිබඳව ද විධිමත් විමර්ශනයක් අප සිදු කළා. එහිදී සත්‍ය වශයෙන්ම උපසම්පදා වූ භික්ෂුවක් ලෙස ලියාපදිංචි ලියාපදිංචි කළ හැඳුනුම්පතක් කළ හැඳුනුම්පතක් සැකකරු සතු වෙනවා.

නමුත් ඔහුට පන්සලක් මේ වනවිට නැහැ. නොම්බර 32, තිහාරිය, කළගෙඩිහේන යන ප්‍රදේශයේ නිවසක වාසය කරනවා. සැකකරුට ආදායම් එන මාර්ගයක් නිශ්චිතව හඳුනාගන්න නැති නමුත් යාන වාහන නඩත්තු කරමින් කාන්තාවන් තබා ගනිමින් නිවසක ජීවත් වන මොහුට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. කිසියම් සංවිධානාත්මක පිරිසක් ආගමික සංහිඳියාව නැති වන ආකාරයේ ක්‍රියාවක් කිරීමට සැකකරු සමග සම්බන්ධ වී කටයුතු කරනවාද යන්න අනාවරණය කර ගත යුතුයි ස්වාමීනි.

මොකද එකිනෙකට සම්බන්ධ වන, එකක් ගිලිහී යනකොට තව එකක් ඉස්මතු වන බෞද්ධාගමට අපහාස වන මෙවන් සිද්ධීන් පිළිබඳව දිනෙන් දිනම අපට පැමිණිලි ලැබී තිබුණා. අහුන්ගල්ලේ ජිනානන්ද හිමියන් හා මැඩිල්ලේ පඤ්ඤානන්ද හිමියන්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි යොමු කළා. 2007 අංක 56 දරන සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290, 291 වගන්තිය යටතේ වරදවල් සිදු කර ඇති බැවින් ඔහු පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මොහු දැඩි ලෙස මතට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට රජයේ වෛද්‍ය නිලධාරිවරයා සහතිකයක් දී තිබෙනවා. එබැවින් මොහු කිසියම් සංවිධානාත්මක පිරිසකට සම්බන්ධව කටයුතු කරන්නේ ද ආගමික සංහිඳියාව නැතිවන ආකාරයෙන් කටයුතු කරන ජාලයක කොටස් කරුවකු ද යන්න විමර්ශනය කළ යුතුයි.''එබැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය. ‘සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙසේ පැවැසීය.

“ මොහු නිවන් දකින්න සිගරට් අදිනවා. අවුරුදු 2500ක් මේ. රටේ බෞද්ධ ආගම රැකගෙන ආ භික්ෂුවගේ චීවරය සුනඛයකුට අන්දනවා.

ගුණ යහපත් අම්මා තාත්තගේ දරුවෙක් මෙහෙම කරන්නේ නෑ. මොහු මානසික රෝගියෙක්, නැති නම් සාහසික අපරාධකරුවෙක්. මෙම ක්‍රියා කරන මොහුගේ සිවුර වහාම ගැලවිය යුතුයි.” පුළුපනේ සුමංගල හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මනෝජ් ගමගේ මහතා මෙසේ පැවැසීය.

" ආගමකට සබුද්ධික විවේචනයක් තිබිය යුතුයි. නමුත් මෙය තර්කානුකූල විවේචනයක් හෝ විවාදයක් නොවෙයි. ටික්ටොක් මගින් රාත්‍රී කාලයේ ලයිව් ඇවිත්. මෙය ලක්ෂ තුන හතරක් බලල තියෙන වීඩියෝ එකක් මෙය ජාත්‍යන්තරයට ගියාම අපේ රටේ ආගම ගැන, රට ගැන මතු කරන චිත්‍රය අයහපත් එකක් සැකකරු මේ ආතල් ගන්න කරන එකක් නෙමෙයි. එක හුදෙකලා සිදුවීමක් කියලා අතාරින්න පුළුවන් කාරණයකුත් නෙවෙයි. බෞද්ධාගම ඉලක්ක කරගෙන කරන ප්‍රහාරයක්. ෆේස්බුක් එකේ ආගමික සංහිදියාවට අන්‍යාගම්වලට පහර දීමට පබ්ලික් පොලිසි එකක් තිබුණත් කෝ මේවට නීතිය. ඒවා අපේ රටට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? මොහුට දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි ස්වාමීනි.'' සැකකාර භික්ෂූන් වහන්සේට නීති නියෝජනයක් නොමැති වූ හෙයින් කීමට යමක් ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසීය.

" පැමිණිල්ලේ ප්‍රකාශ කළ කරුණු සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. මං කරපු දේ මගේ අම්මා තාත්තා දන්නවා, මේ සමාජය දන්නවා. මම ලයිව් ඇවිල්ලා ඉන්න කොට මාව කුපිත කරන වචන කිව්ව නිසයි මං ඒ වගේ උත්තරයක් දුන්නේ. මගේ ඇතුලාන්තය ඔවුන් පීඩාවට ලක් කළා. මට වඩා ගුණ මගේ බල්ලට තියෙනවා. ඒකයි මගේ සිවුර මම බල්ලාට ඇන්දුවේ. මේක සංවිධානාත්මක පිරිසකගේ හෝ කණ්ඩායමකගේ ක්‍රියාවක් නෙවෙයි. ''දෙපාර්ශ්වයේ කරුණු සලකා  බැලූ  මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.


රෝෂන් තුෂාර