nepal-earthquake-survivors-dying-in-tents-as-temperatures-plunge

නේපාලයේ භූමිකම්පාවකින් දිවි ගලවා ගත් පුද්ගලයින් 38 දෙනෙකු පමණ, මසකට වැඩි කාලයක් පැවති ශීතල කාළගුණය හමුවේ , ජීවත් වූ කූඩාරම්වලම මිය ගොස් ඇත. මියගිය අය අතර , නොවැම්බර් 3 වන දින රටේ බටහිර දෙසින් ඇති වූ භූමිකම්පාවට දින දෙකකට පසු දරු ප්‍රසූතියක් සිදු කළ කාන්තාවක් ද වේ.

කර්නාලි පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයට අනුව , 40,000 කට වැඩි පිරිසක් මේ වන විට ටාපෝලින් තහඩු යට ජීවත් වෙති.

අවම වශයෙන් පුද්ගලයන් 153 දෙනෙකුට පමණ මරු කැඳවූ භූමිකම්පාවකින් පසුව, ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන විසින් ආහාර, ජලය, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක කට්ටල සහ කූඩාරම් විපතට පත් වූවන්ට බෙදා හරින ලදී.



කර්නාලි කලාපයේ පොලිස් ප්‍රධානියා වන Bhim Prasad Dhakal පැවසුවේ, රාත්‍රී කාලයේ උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටෙන බවයි.

Sharmila Chadara මිය ගියේ නොවැම්බර් 25 වැනිදාය. ජජාර්කොට් දිස්ත්‍රික්කයේ ඇති ඇයගේ නිවසේ සාමාජිකයින් මේ නිසා කම්පනයෙන් සිටියි. එම දිස්ත්‍රික්කය භූමිකම්පාවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ ස්ථාන දෙකෙන් එකක්ද වෙයි. තම බිරිඳ අසනීප වී රෝහල් ගත කරන විට ඔහු සහ ඔවුන්ගේ  දින 19 ක් වයසැති බිළිඳා කූඩාරමක ජීවත් වූ බවත්, රෝහල් ගත වී සිට නිවසට පැමිණි ඇය  ටික වේලාවකට පසු මිය ගිය බවත් Chadara ගේ ස්වාමිපුරුෂයා වන Dinesh පැවසුවේය.  

Mina Badi ගේ තුන් හැවිරිදි දියණිය වන Raksha, නියුමෝනියාව හේතුවෙන් මිය ගියාය. "ටාපෝලින් තහඩුවලට සීතලට ඔරොත්තු දෙන්නේ නැහැ. අපට උණුසුම් ඇඳුම් තිබුණෙත් නැහැ ," යැයි  ජජර්කොට්හි කුෂේ ග්‍රාමීය මහ නගර සභාවේ Badi පැවසීය.

Nalgad සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය Bishal Uprety පැවසුවේ , කාර්ය මණ්ඩලය දිනකට පුද්ගලයින් 20 සිට 25 දක්වා නියුමෝනියාව, උණ ඇති රෝගීන් පිරිසක් හදුනා ගන්නා බවයි.



නේපාල රතු කුරුස සංගමයේ ආපදා සහ අර්බුද කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ Sagar Shrestha පැවසුවේ, ජාත්‍යන්තර ආධාර ආයතන විසින් එවන ලද කූඩාරම්,  කලාපයේ කටුක තත්වයන්ට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් නොවන බවයි.  

"නේපාලයේ විවිධ දිස්ත්‍රික්කවල දේශගුණය සහ භූ විද්‍යාත්මක කරුණු අනුව විවිධ ප්‍රමිතීන්ගෙන් යුත් සහන ක්‍රියාවලි අවශ්‍යයි. නමුත් නේපාලයේ ටෙරායි ප්‍රදේශයේ ජනයාට, අව්වේ බෝග වියලීමට භාවිතා කරන ටාපෝලින් තහඩු බෙදා හැර ඇත. පෙබරවාරි මාසයේදී තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් පසු දිවි ගලවා ගත් පිරිසට පෙර සැකසූ බහාලුම් බෙදා හැර තියෙනවා. නමුත් නේපාලයේ එය කළ නොහැකියි. මෙවැනි ටාපෝලින් තහඩු බෙදා හැරීමෙන් පමණක් වින්දිතයන් ආරක්ෂා කිරීම අපහසුය." යැයි Shrestha පැවසීය.

වඩා ශක්තිමත් තාවකාලික නිවසක් තැනීම සඳහා සෑම නිවාස නොමැති පවුලකටම ඩොලර් 370ක් (£295) ලැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත්, නේපාල කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රධාන ලේකම් බිෂ්වා ප්‍රකාශ් ෂර්මා පැවසුවේ බොහෝ දෙනෙකුට තවමත් මුදල් ලැබී නොමැති බවයි.

එසේම ලබා දෙන මුදල වාරික වශයෙන් ලබා දීම සිදුකරන බවත්, ඒ හේතුවෙන් ජනතාවට ද්‍රව්‍ය මිලදී ගැනීමට අපහසු බවත් ඔහු පැවසීය.

ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් පොක්‍රෙල් පැවසුවේ ප්‍රතිසංස්කරණය සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 1 ක් පමණ අවශ්‍ය වන බවයි.

ජනවාරි මාසයේදී ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් පැවැත්වීමට රජය සැලසුම් කරයි.