migrate-sri-lanka-teaching-uk-couple
ලංකාවේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මේ දිනවල කල්පනා කරන්නේ කොහොම හරි රටෙන් පැන ගන්නා ක්‍රමයක් ගැනය. ‘‘මෙහේ ඉඳලා වැඩක් නෑ. ඔස්ට්‍රේලියාවට හරි යුරෝපයට හරි යන්න ඕනේ.’’ ඔවුන් හිතන්නේ එහෙමය. තරුණ තරුණියන් එහෙම හිතන්නේ රටේ ආර්ථික ප්‍රශ්න වැඩි නිසාය. එසේ නැතිනම් මේ යන විදියට රට කවාදවත් දියුණු නොවන නිසාය. ලංකාවේ තරුණ පරපුර එහෙම හිතද්දී විදෙස් දේශයක, කළ සිය රැකියාවන්ට ආයුබෝවන් කියා මෙරටේ ජීවත් වන්නට පැමිණෙන ඇතමුන්ද නැතුවාම නොවේ. එවැනි යුවළක් ගැන ඉකුත්දා අසන්නට ලැබුණේ එංගලන්තයේ ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියෙනි.


මේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මේ ජෝඩුව බ්‍රිතාන්‍යයයේ ජීවත් වූ තරුණ ගුරු යුවළකි. මෙරටේ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වන්නට බලා සිටියදී මේ යුවළ එරටේ සිට මෙරටට ආවේ වඩාත් නිදහස් වූ ජීවිතයක් ගත කරන්නටය. අද වනවිට ලංකාව වාගේම බ්‍රිතාන්‍යයත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම මේ දිනවල එරටේ රාජ්‍ය සේවය කප්පාදු කරන්නටත් උපයන විට අයකරන බද්ද වැඩි කරන්නටත් එරට රජය තීරණය කර ඇත්තේය. එවැනි පසුබිමක තමන්ට තවදුරටත් ලන්ඩනයේ ජීවත්වන්නට අවකාශයක් නොමැති බව වටහාගත් මේ යුවළ සරලව හා නිදහසේ ජීවත්විය හැකි රටකට සංක්‍රමණය වන්නට තීරණය කළෝය. එහිදී ඔවුන්ගේ පළමු මෙන්ම එකම තේරීම වූයේ ශ්‍රී ලංකාවයි.



සිය වෘත්තීය ජීවිතයට සමුදී ලංකාවට එන්නට තීරණය කර ඇති බව කියන්නෙත් ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියයි. එයින් නොනැවතී ලංකාවට පැමිණ සිටින ඔවුන් තමන්ගේම කියා අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කරන්නටත් මග බලාගෙන සිටිති. එයට ලංකාවෙන් ගුරුවරුන් එකතු කරගන්නටත් ඔවුන් බලාපොරොත්තුවේ. එසේ එකතු කරගන්නා ගුරුවරුන්ට ගුරු වැටුපක්ද හිමිවේ. එය රුපියල් හැටදහසක් මුදලක් විය හැකි බවටත් ඔවුන් ගණන් බලා තිබිණි.

‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට අනුව මේ යුවළ දැනටමත් ලංකාවේ පදිංචියට පැමිණ තිබේ. ඒ වගේම මේ යුවළ ගමන් බිමන් යන්නේත් තමන්ට කියා මිලදී ගත් ත්‍රිරෝද රථයකිනි.

”ගුරුවරයකු ලෙස මගේ අවසන් වසරේ මම බදු ගෙවීමට පෙර පවුම් 40,000 ක පමණ වැටුපක් ගත්තා. මගේ බිරිඳත් ඒ හා සමාන වැටුපකටත් හිමිකම් කිව්වා. මම දැනට වසර පහක් බ්‍රිතාන්‍යයේ පාසලක ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කළා. මගේ බිරිඳත් ඒ පාසලේම ගණිත ගුරුවරියක්. රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා කියන්නේ හරිම ආතතියක්. ඒ පාර්ශ්වයන්ගෙන් අපිට එල්ලවන බලපෑමත් වැඩියි.

ඒ නිසා වසර පහක් පුරාවට මම කරපු රස්සාවෙන් මම අයින් වුණා. ඒ මානසික නිදහස වෙනුවෙන්. අනික මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ බදු අයකර ගැනීම් වැඩි වෙලා තියෙනවා. ගෙවල් කුලී, විදුලිය, කෑම බිම ආදී හැම දෙයක්ම ඉතාමත් ඉහළ අගයක තියෙන්නේ. ඉතින් අපි හිතුවා මීට වඩා හොඳ ජීවිතයක් අපට ලංකාවේදී ගත කරන්න පුළුවන් වෙයි කියලා...” යැයි ඔවුහු ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට පවසා තිබිණි.

මේ යුවළ පදංචි වන්නට බලාපොරොත්තු වන්නේ යාපනයේය. මේ දිනවල ඔවුන් කොළඹ නගරයේ කුලී පදනම මත ගත් නිවසක ජීවත්වේ. ඒ ලංකාවේ සිටීමට අවැසි ලියකියවිලි සකසා ගන්නටය. තවත් ටික දිනකින් ඔවුහු මෙරටේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අධ්‍යාපනය වැඩසටහනටත් අත ගසන්නට මග බලමින් සිටින්නෝය.

ඒ අතර ලන්ඩනයේදී ගෙවූ අධික වියදම්කාරී ජීවිතය මෙරටේදී අත්විඳින්නට නොලැබීම ඔවුන් ලද භාග්‍යයක් බවත් මේ යුවළ ‘ද ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවියට පවසා තිබිණි. එපමණක් නොව, ඔවුන් එරටේ සිටියාට වඩා මෙරටේදී සෑම මසකට පවුම් තුන්දහසක මුදලක් ඉතිරි කරන්නටත් මග බලාගෙන සිටින බවත් පැවසේ.

හර්ෂණී දිසානායක