රනිල් සජිත් කිසි දිනක එකතු නොවන බව තමා පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවැසීය.විපක්ෂ නායකවරයා මෙසේ පැවැසුවේ  සභාවේ කටයුතු  ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය. ජඩ බොරු ප්‍රචාරක කටයුතු කරන ආයතන වගයක් එකතු වෙලා ආණ්ඩුවෙන්ද කොහෙන්ද කප්පම් අරගෙන රනිල් සජිත් එකතු වෙනවා කියලා කතාවක් කියාගෙන යනවා. රනිල් සජිත් කිසිම දවසක එකතු වන්නේ නැහැ. මම ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම ප්‍රකාශ කරනවා. කප්පම් ගන්න ජඩ මාධ්‍යයට කියනවා, ඒ වගේ බොරු ප්‍රචාර කරන්න එපාකියලා.

අසූචි පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කෝප් කමිටුව කල් දමනු ලබන්නේ ඇයි? කාගේ වුවමනාව මතද? මේ කාලයේදී කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවේ කවුද?පොහොරවල වැට් එක වැඩි කරලා තියෙනවා. මේ වැට් එකට කෘෂිකර්ම ඇමැතිවරයා විදියට විරුද්ධ වෙනවද?


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:

මෙතුමා ප්‍රශ්න පත්තරයක් අහන්නේ. අසූචි පොහොර කියලා එහෙම වාර්තාවක් නෑ. ප්‍රශ්නයට ඉතා ඉක්මනින් පිළිතුරු ලබා දෙනවා.


කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය චරිත හේරත් මහතා:

අමාත්‍යාංශ වැය ශීර්ෂ සාකච්ඡා කරන්නේ කෝපා කමිටුව. ඒක කෝප් කමිටුවට අදාළ නැහැ.


අංජුල මහික වීරරත්න