මුළු රටටම විදුලිය විසන්ධි වූ ඉකුත් 9 වැනි දින පස්වරුවේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය පැය 7ක පමණ කාලයක් අකර්මණ්‍ය වී තිබූ බව එම රෝහලේ

ප්‍රකාශකයෙක් පැවැසීය.විදුලිය විසන්ධි වූ අවස්ථාවේ රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර දහයකට සම්බන්ධ කර සිටි වකුගඩු රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වූ බව ද ඔහු කීය. කරාපිටිය රෝහලේ ප්‍රධාන විදුලිජනක යන්ත්‍රය වකුගඩු ඒකකයට විදුලිය ලබාදීමට සම්බන්ධ නොකිරීම නිසා එම තත්ත්වය උදා වූ බව ද රෝහල් ප්‍රකාශකයා පැවැසීය.

විදුලිය විසන්ධි වීම නිසා මහල් අටකින් යුත් වකුගඩු ප්‍රතිකාර ඒකකයේ සෝපාන, රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර ආදියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇණහිටි බව ද ඔහු කීවේය. කරාපිටිය රෝහලට විදුලිජනක යන්ත්‍රයක් නොමැති බව මාධ්‍ය මගින් අනාවරණය වූ පසුව රාජ්‍ය නොවන සංවිධානයක් ඉකුත් ජූලි මාසයේදී රුපියල් කෝටි පහ හමාරක් වැය කර කිලෝවොට් 1000ක ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබිණි.

එහෙත් එම ජනක යන්ත්‍රය වකුගඩු ඒකකයට සම්බන්ධ කිරීමට රැහැන් පද්ධතියක් සකස් කිරීමට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කීය.මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එස්. ඩී.යූ.එම්. රංගා මහතාගෙන්  කළ විමසීමේදී ඔහු කීවේ, රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු විදුලි ජනක යන්ත්‍රයෙන් පළමුව ප්‍රධාන ඒකකයට අවශ්‍ය විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කළ බවය. 

වකුගඩු විශේෂිත ප්‍රතිකාර ඒකකයට විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතළිහක පමණ මුදලක් වැයවන බවත්, එම මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය. මෙම ප්‍රතිපාදන ලැබුණු පසු මෙම ඒකකයට හදිසි අවශ්‍යතාවකදී විදුලිජනක යන්ත්‍රයෙන් විදුලිය ලබාදිය හැකි බව කී හෙතෙම ඉදිරියේදී මෙම තත්ත්වයට පිළියම් ලැබෙනු ඇතැයි කීවේය.


ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා