Firearms-were-sold-to-the-underworld-in-the-Matara-case-warehouse

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාරිය සංවර්ධන සහායකයකු, ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබූහ.සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන පද්ගලයකු සහ නඩු   බඩු කාමරයෙන් සොරාගත් විදේශයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලකට මිලදී ගත් බව කියන ධීවර බෝට්ටු හිමිකරුවකු මෙලෙස අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



ඔහු සන්තකයේ තිබී එම රිවෝල්වරය ද පොලිස් බාරයට ගෙන ඇත. මේ අතර දික්වැල්ල ප්‍රදේශයේදී පාතාලයට සම්බන්ධ යැයි කියමින් පසුගිය අගෝස්තු 08 වැනිදා වැටලීමක් කර අත්අඩංගුවට ගත් සැකකරුවකු ළඟ තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරා ගන්නා ලද එකක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එම නිලධාරියා කීය.එම ගිනි අවිය යොදාගෙන දික්වැල්ල ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි. එම ගිනි අවිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලකට සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවකු ද හවුල් වී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබී සොරා ගත් බව කියන විදේශීය නිෂ්පාදිත තවත් ගිනි අවි දෙකක් දකුණේ පාතාල කල්ලි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණනක මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.ම

ේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් අස්ථානගත වී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නඩු බඩු කාමරයේ තිබූ ගිනි අවිද සොරාගෙන ගොස් පාතාලයට රුපියල් ලක්ෂ ගණනක විකුණා ඇති  බවට තොරතුරු එම විමර්ශනයේදීද අනාවරණය කර ගැනීමට හැකි විණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් හොරා ගෙන ගොස් තිබූ හෙරොයින් පාර්සල් දෙක රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.ස

ැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් හෙරොයින් මිලදී ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ පවත්වාගෙන බව පොලිසිය  කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දික්කවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය