Three-cricket-stadiums-equipped-LEDs-Large-scale-duty-fraud

ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනකට එල්.ඊ.ඩී. තිර තුනක් ගෙන්වීමේ දී විශාල පරිමාණයේ තීරුබදු වංචාවක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය.
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු තිර ගෙන් වූ ආයතන තුන එම තිර ක්‍රීඩාංගණ වලින් ගලවාගෙන යෑමට උත්සාහ දරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.


විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනකට එල්. ඊ. ඩී. තිර තුනක් මිලදී ගෙන තියෙනවා. පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය සහ ඛෙත්තාරාම
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට තමයි මේවා ඇනවුම් කරල තියෙන්නෙ. අඩි හැටයි තිහේ එල්ඊඩි තිර තුනක්. මේ තිර තුන සම්බන්ධයෙන් වංචනික ක්‍රියාදාමයන් තුනක් තියෙනවා. පළමු වැනි ක්‍රියාදාමය තමයි, ටෙන්ඩරය විවෘත කරල තියෙන්නෙ 2023 ජුලි මාසයේ 14 වැනිදා. හැබැයි ඊට ඉස්සෙල්ලා 13 වැනිදා සල්ලි වලින් කොටසක් ගෙවල තියෙනවා. ඩොලර් 29000ක්.
මෙම ටෙන්ඩරයට ආයතන හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කරල තියෙන්නෙ ආයතන දෙකයි. මිලියන 25 ක් අඩුවෙන් ඉදිරිපත් කරපු අය ඉවත් කරලා.

ඒ තිර තුන රේගු නිලධාරීන් මේ මොහොතේදී පරීක්ෂා කරනවා. ඒ ඔක්කොටම අය කරලා තියෙන බදු මුදල ලක්ෂ 65 යි. මිල අඩු වෙන් පෙන්නලා තමයි ඒ බදු අය කරල තියෙන්නෙ. නියමිත ගාණට වඩා අඩුවෙන් දාල තියෙන්නෙ. රාජ්‍ය ආදායම නැති වීම ගැන අපි මෙතන කතා කරනවා. වැට් බදු වැඩි කරනවා. මිනිසුන්ගේ කර මත බදු බර පටවනවා. එහෙම පටවන
ගමන් මේ වගේ දූෂිත ආයතන එලීඊඩි තිර තුනක් ගෙන්වල ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලබාදෙන්න හදනකොට රේගුව අඩුවෙන් පෙන්නලා රජයට ලැබිය යුතු ආදායම හොරා කනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒ දූෂිත කල්ලිය ඉවත් කිරීමට මේ සභාව යෝජනාවක් සම්මත කළා සියලු දෙනා එකතු වෙලා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හරි දැන් ඉවර කරන්න.
විපක්ෂ නායක: අපේ කටවල් වහන්න
එපා මේ ගැන විමර්ශනයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ සිද්ධිය ගැන රේගුව දැනටමත් විමර්ශනයක් කරගෙන යනවා. විමර්ශනයෙන් පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිව්.
ප්‍රේමදාස මහතා මෙන්න ඡායාරූප. මේ විදිහට ගෙන ආපු ආයතන ඒ තිර ගලවාගෙන යන්න උත්සාහ කරනවා. මෙන්න පින්තූර. හොරකමේ පින්තූර.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න