12.00 am
දිවයින පුරා විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
8.30 pm
බිඳ වැටුණු විදුලි සැපයුම  යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි, විදුලි බල මණ්ඩලය පවසයි.
 
අද (09) පස්වරු 5.10 ට දිවයින පුරා විදුලිය හදිසියේ බිඳ වැටුණි.



විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ, කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් මීට හේතුවී ඇති බවයි.

මේ අතර මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

විදුලිය බිඳ වැටීමෙන්, ගුවන්තොටුපොළ කටයුතුවලට බාධාවක් නොමැති බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සනාථ කළේ ය.

දුම්රිය ධාවනයට මෙතෙක් බාධාවක් නොමැත.
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබාදීම ඇණහිට ඇත්තේ අදාල යන්ත්‍ර සදහා විදුලිය අවශ්‍ය බැවිනි. මේනිසා නගරාසන්න ඉන්ධන පිරවුම්හල් ඇතැම්වා මුළුමනින් වසා දමා ඇති අතර ඇතැම්වා ඉන්ධන ලබාදෙන තෙක් වාහන පොලිම් සහිතව සිටී.

විදුලිය බිඳ වැටීමත් සමග නගරවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.

පවතින තත්ත්වයත් සමග රෝහල්වල ජල සැපයුම අඩාල වුවහොත් බවුසර් මගින් ජලය සපයන්නැයි, ප්‍රාදේශීය කාර්යාල වෙත උපදෙස් දී ඇති බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර, ලක්ෂපාන, කොත්මලේ සහ සමනලවැව ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග යලි යතාතත්ත්වයට පත්කළ බව, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු, නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, බස්නාහිර උතුර ප්‍රදේශ කිහිපයක සහ කොළඹ නගර සීමාවේ ඇතැම් ස්ථානවලට විදුලිය සැපයුම යථාතත්ත්වයට පත් කර ඇති බවයි.

කොළඹ අවට රොහල්වල විදුලි සැපයුම යථා තත්වයට පත් කර ඇති බව, විදුලි බල මණ්ඩලය පවසයි.

5.30pm
පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.