දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බංගලාදේශ වෛද්‍ය යුවළක කාන්තාවකට කිරුළපන බේස්ලයින් මාර්ගයේදී මහ දවල් පහරදී, ඇයගේ ගෙල බැදි රන් මාලය හා රන් පෙන්ඩන්ට් කොල්ලකා පලා ගිය  දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් නවසියයක් සමග පෙරේදා (10 වැනිදා) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 7 වැනිදා කිරුළපන ජයසිංහ මාවතේ තවත් නිවෙසක කන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා, රුපියල් 225,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක තොරතුරක් අනාවරණය වූ බව පොලීසිය කියයි.සැකකරු පසුගිය මස 20 වැනිදා කිරුළපන බේස්ලයින් මාර්ගයේ සුපිරි වෙළෙඳසලකට පැමිණි බංගලාදේශ වෛද්‍යවරියකට මහමගදී අමානුෂික ලෙස පහරදී, ඇය පැලඳ සිටි රුපියල් ලක්ෂ තුනකට ආසන්න රන් මාලයක් සහ රන් පෙන්ඩන්ට් තුනක් කොල්ලකා පලා ගොස් තිබුණි.මෙම කාන්තාවගේ සැමියා ද වෛද්‍යවරයකු වන අතර, ඔවුන් දෙදෙනාම බංගලාදේශයේ වෛද්‍ය යුවළකි. දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ, අවසන් දිනයේදී මව් රටට යාමට පෙර මෙම සුපිරි වෙළෙඳසලට භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණපා තිබුණි.

පැය කිහිපයකින් ගුවන්තොටුපොළට යාමට සිදුව තිබීම නිසා පොලීසියේ පැමිණිලි කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා, බංගලාදේශයට ගොස් එහි තානාපති කාර්යාලය හරහා විද්‍යුත් තැපෑල ඔස්සේ මෙරට පොලීසියට පැමිණිල්ලක් එවා තිබුණි. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් ආරක්ෂිත කැමරා දර්ශන අනුව විමර්ශනයක් සිදු කරමින් සිටියදී කිරුළපන මහවෙල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටි පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු රොබට් ගුණවර්ධන මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සොරා ගත් රන් මාලය හා රන් පෙන්ඩන්ට් තුන හෙට්ටිවීදියට උකස් කර තිබියදී  සොයා ගත් බව ද පොලීසිය පවසයි. සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඉකුත් 7 වැනිදා කිරුළපන ජයසිංහ මාවතේ නිවෙසකට වහලයෙන් බැස, එහි නානකාමරයේ සිටි කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා මරණීය තර්ජනය කොට, ඇය පැළඳ සිටි දෙලක්ෂ විසිපන් දහසක් වටිනා රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක තොරතුරක් ද අනාවරණය වී තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 7 වැනිදා පැමිණිල්ලක් ද ලැබී තිබුණි. එම කාන්තාවගෙන් කොල්ලකෑ රන් මාලය හෙට්ටිවීදියට අලෙවි කිරීමට රැගෙන යාම සඳහා නිවෙසේ සඟවා තිබියදී සොයා ගත් බව ද, බංගලාදේශ වෛද්‍යවරියගෙන් කොල්ලකෑ රන් මාලය හා රන් පෙන්ඩන්ට් තුන හෙට්ටිවීදිය ප්‍රදේශයේ අලෙවිසලකට උකස් කර තිබියදී සොයා ගත් බව ද පැවැසේ. 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදාවේ සේවය කළ අයකු වන අතර, ඔහු එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසුව කඳවුර තුළදී සාජන් මේජර්වරයකු සමග ඇති වූ ගැටුමකදී ඔහුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී සේවයෙන් පහ කළ පුද්ගලයකු බවත්, 2021 වසරේදී කිරුළපන ප්‍රදේශයේ නිවෙසක කාන්තාවකගේ අත කපා, පැළඳ සිටි රන් වළලු තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස 10ක සිරදඬුවම් නියමව සිටි තොරතුරු අනාවරණය අයකු බවට වූ බවත් පැවැසේ. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 36 සහ 40 වයසේ පසු වන දෙදෙනා මාලිගාකන්ද අධිකරණයට කොළඹ අලුත් කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න