කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන යන බව කියන ඔන්ලයින් වාහන අලෙවි සලක කාර්යාලය වෙත වාහන දෙකක් මිලදී ගැනීම සඳහාෙපැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි හතර හමාරක මුදලක් රැගෙන පසුපස දොරින් පළාගිය ව්‍යාපාර හිමිකරුවෙකු සොයා කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් කාර්යාලයේ සේවක පිරිසක් තවදුරටත් එහි රැඳී සිටි නිසා පොලිසිය පැමිණ කාර්යාලයේ සේවය කළ කළමණාකරු සේවිකාවන් ඇතුළු හය දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
BMICH දෙවැනි කොටසේ කාර්යාලයක් මෙම ව්‍යාපාරය සඳහා ඔහු ඉතාම මෑතකදී ලබාගෙන ඇති අතර බදු පදනම මත ලබාගෙන ඇත්තේ පසුගිය 11වැනිදාය. විවිධ පුද්ගලයින් අලෙවි කිරීමට යන වාහන තම කාර්යාලයේ සම්බන්ධීකරණය මත අලෙවි කරවීමේ අතරමැදි සමාගමක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ.
මෙම කාර්යාලය මගින් අන්තර්ජාලය ඔස්සේ පල කරන ලද දැන්වීමකට අනුව ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම සදහා ගැණුම්කරුවන් දෙදෙනෙකු සහ ඒවායෙහි හිමිකරුවන් දෙදෙනා ලිපි ලේඛණ හා මුදල් ද සමගින් ඊයේ (20 වැනිදා) දහවල් එම කාර්යාලයට පැමිණ ඇත.
පසුව ලෑන්ඩ් කෘසර් වර්ගයේ මෝටර් රථය රුපියල් කෝටි තුනකටත් , හයිබ්‍රිඩ් මෝටර් රථය කෝටි එකහමාරකටත් අලෙවි කර එම මුදල් ගැනීමට අවශ්‍ය බව පවසමින් කාර්යාලය තුළට රැගෙන ගොස් ඇත. ඒ ගැණුම්කරුවන් දෙපළටත් හිමිකරුවන් දෙපළටත් කාර්යාලයේ අසුන්ගෙන සිටින බව පවසමිනි.
දීර්ඝ වේලාවක් ව්‍යාපාර හිමිකරු නොපැමීණීම මත ගැණුම්කරුවන් දෙපළ ඒ පිළිබඳ කාර්යාලයෙන් විමසා ඇත.ඔහු ගැන තොරතුරු නොමැති නිසා මුදල් ලබාදී වාහන ද්විත්වය මිලදී ගත් දෙදෙනා කලබලයට පත්ව ඇත. මෙම අවස්ථාවේ ව්‍යාපාර සමාගමේ කළමණාකරු පවසා ඇත්තේ සර් දැන් එයි. රෙස්ට් කරනවා යනුවෙනි.
එහෙත් ව්‍යාපාර හිමිකරුබොහෝ වේලාවක් යනතුරු පැමිණ නැත. සෝදිසි කිරීමේ දී ඔහු මුදල් ද රැගෙන පලා ගොස් ඇතැයි දැන ගන්නට ලැබී ඇති අතර ඒ ගැන කුරුඳුවත්ත පොලිසියට දැනුම් දී ඇත.
කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බන්ඩාර සේනානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බන්ඩාර ඇතුළු නිලධාරීන් පැමිණ කරන ලද පරීක්ෂා කිරීමේදී ව්‍යාපාර හිමිකරු කාර්යාලයේ ඇති ස්ටිකර් වලින් බිත්තියේ වර්ණයට සමානව ආවරණය කර ඇති දොරටුවකින් පිටව ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇත.
මෙම සැකකරු මාර්ගගත ක්‍රමයෙන් කුලී ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන කාර්යාලයේ පිටුපස දොරටුවෙන් පිටව ගොස් තිබෙන අතර ඔහු ත්‍රීරෝද රථයෙන් තුම්මුල්ල හංදිය කරා පැමිණ එම ස්ථානයෙන් බැස පලාගොස් ඇත. ඔහු පලායන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශන වලද දැක්වේ.
අත්අඩංගුවට ගත් සේවිකාවන්ගෙන් හා කළමණාකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාරගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.
සැකකරුවන් හය දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(එෆ්.අස්ලම් / ඉෂාර රත්නකාර)
0 Comments