boralesgamuwa-incident

ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ බව කියන බෝධිරාජපුර පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී උණ්ඩ තුනක් ද සමගින් පසුගිය 29 රාත්‍රි අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.



බොරලැස්ගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු ඇතුළු කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී පොලිසිය දැක පලා යාමට තැත් කළ පුද්ගලයකු පරීක්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු සතුව තිබූ මෙම ගිනි අවිය පොලිස් නිලධාරීන් දෙසට එල්ල කර ඇති බවත් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

එම ස්වයංක්‍රීය ගිනි අවිය සමග ජීව උණ්ඩ තුනක් ද සොයා ගැනීමට හැකිව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් සෝදිසි කිරීමේදී සැකකරු හැඳ සිටි ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 200 ක් හමු වූ බව ද පොලිසිය පවසයි.මෙලෙසඅත්අඩංගුවට පත්ව ඇත්තේ බෝධිරාජපුර 'කට්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 48 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
බුද්ධික කුමාරසිරි