විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ 25 කට වැඩි මුදලක් වංචාසහගත ලෙස ලබාගත් බව කියන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පාදුක්ක පොලිසිය පවසයි. හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාර තරුණියකට වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
තමන් කැනේඩියානු පුරවැසියකු බවත්, මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස එරට රැකියාවේ නිරත වන බවත් සඳහන් කරමින් පැමිණිලිකාර තරුණියට සැකකරු තමන් හඳුන්වා දී ඇති බව අදාළ පැමිණිල්ලෙහි සඳහන් වේ. සැකකරු කැනඩා පුරවැසියකු වන බැවින් මෙරට මුදල් ගනුදෙනු සඳහා බැංකු ගිණුමක් ද පැමිණිලිකාර තරුණියගේ නමින් විවෘත කර මුදල් ගනුදෙනු සිදු කර ඇති අතර පැමිණිලිකාරියගේ මව විසින් මිලදී ගෙන ලබා දුන් මහල් නිවසක ජීවත්ව ඇති බවත් එම මහල් නිවසට අවශ්‍ය සියලු ගෘහ භාණ්ඩ ද පැමිණිලිකාර තරුණියගේ මව විසින් සැකකරුට මිලට ගෙන ලබා දී ඇති බවත් පැවසෙයි.
මේ අතරතුර නොයෙක් කාරණා කියමින් පැමිණිලිකාරියගෙන් වරින්වර ඔප්පු කළ හැකි ආකාරයෙන් රුපියල් ලක්ෂ විසිපහකට වැඩි මුදලක් ද පැමිණිලිකාරියගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ වරින් වර තවත් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් ද ලබාගෙන ඇතැයිද පොලිසිය පවසයි.මේ අතර පවුලේ ඥාතීන් සහ අසල්වාසීන් සමඟ රැස්ව සිටි උත්සව අවස්ථාවකදී අදාළ තරුණියට සැකකරු විසින් ප්‍රසිද්ධියේම මංගල යෝජනාවක්ද සිදුකර ඇතැයි ද මේ හේතුවෙන් අදාළ පුද්ගලයා පිළිබඳව කිසිදු සැකයක් මතු නොවූ බවත් එම පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.
විවාහක දෙදරු පියකු වන සැකකරු
තම බිරිඳ ද ඥාති සහෝදරියක ලෙස අදාළ පැමිණිකරුවන්ට හඳුන්වා දී සැකකරු පවසන කරුණු සනාථ කිරීම සඳහා ඇය ලවා දුරකතන ඇමතුම් ලබා දී ඇතැයිද පොලිසිය පවසයි. මේ අතර සැකකාර පුද්ගලයාට අවශ්‍ය මුදල් තම මිතුරෙකුගේ බැංකු ගිණුමකට බැර කරන ලෙස පවසමින් සැකකරුගේ සත්‍ය නමට හිමි බැංකු ගිණුමකට බැර කර ගෙන ඇතැයිද අදාළ පැමිණිල්ලෙහි සඳහන් වේ.එසේම සැකකරු රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ව්‍යාජ කොණ්ඩයක් සෑම අවස්ථාවකදීම පැලඳ සිට ඇති අතර වසර ගණනාවක් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන පැමිණිලිකාරියගේ මවට පවා එය හඳුනාගත නොහැකිව ඇතැයිද ඇතැයිද මේ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන නිලධාරියකු පැවසීය.
කේ. බුද්ධික කුමාරසිරි
0 Comments