chicken-price-up

එළවළු මිල ගණන් ඉහළ යෑමත් සමග කුකුළු මස් සඳහා තිබෙන ඉල්ලුම් වැඩිවීම හේතුවෙන් සතියක පමණ කාලයක සිට කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙරට දෛනික කුකුළු මස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500ක් වන නමුත් මේ දිනවල සංචාරක හෝටල් රැසක් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවතීම නිසා කුකුළු මස් සඳහා පවතින දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන් 600 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සම්මේලනයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.



දැනට සති කිහිපයකට පෙරදී සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක් වැනි මිලකට අලෙවි කෙරිණි. මත්ස්‍ය සහ එළවළු මිල අඩු මට්ටමක තිබූ බැවින් කුකුළු මස් සඳහා පැවැති ඉල්ලුමද අඩුවීම හේතුවෙන් එලෙස කුකුළු මස් අඩු මිලට විකිණීමට සිදුවූ බව කුකුළු මස් නිෂ්පාදකයෝ පැවසූහ. ඒ අනුව මේ දිනවල සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 950 - 1000ත් අතර මිලකට ද, සම රහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1200 දක්වා ද මිල වැඩිවී තිබේ.



දැනට වැට් බදු ද ඇතුළත්ව රුපියල් 240ක් ගෙවීමට කුකුළු මස් නිෂ්පාදකයින්ට සිදුවී තිබෙන බවත් විදුලි බිල් හා ප්‍රවාහන වියදම් ඉදිරියේදී ඉහළ ගියහොත් එම මුදල ද කුකුළු මස් මිලට එකතු කිරීමට සිදුවන බවත් සභාපතිවරයා පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර