china-earth-quake-100-dies

සඳුදා රාත්‍රියේ වයඹදිග චීනයේ ගන්සු පළාතේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම රාත්‍රියේ  ඇතිවූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය  රික්ටර් පරිමාණයේ 6.2 ක් බව වාර්තා වන අතර අසල්වැසි Qinghai වෙත ද එය බලපෑ බව චීන බලධාරීහු පවසති.


අනතුරුව අඟහරුවාදා පැය කිහිපයකට පසු අසල්වැසි ෂින්ජියැන්ග් හි දෙවන භූමිකම්පාවක්ද ඇති විය.රික්ටර් පරිමාණයේ  5.5 වූ එය ගැන තොරතුරු තවම අපැහැදිලිය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයේ දුප්පත්ම කලාපයක් වන ගන්සු වෙත පූර්ණ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් යෙදවීමට නියෝග කර තිබේ. ජිෂිෂාන් ප්‍රාන්තය දරුණුතම හානියට පත් ප්‍රදේශයයි.

ගන්සු පිහිටා ඇත්තේ ටිබෙට් සහ ලෝස් සානුව අතර වන අතර මොංගෝලියාවට මායිම් වේ. සඳුදා රාත්‍රියේ ඇති වූ භූමිකම්පාව චීනයේ මුස්ලිම් හූයි ජනයාගේ පරිපාලන කලාපයක් වන ලින්ක්සියා හුයි ස්වයං පාලන ප්‍රාන්තයට බලපෑවේය.

රෝහල් වෙත රෝගීන් රැගෙන යන ආකාරයත්, ගැලවුම්කරුවන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතරින් සෝදිසි කරන ආකාරයත් හුවමාරුවූ වීඩියෝ දර්ශනවල දැක්වේ.
ප්‍රාදේශීය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ස්ථානයට නොපැමිණෙන ලෙසත්, මාර්ග නිල ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත ලබා දෙන ලෙසත් ය.