colombo-7-music-teacher

කොළඹ 7 විජේරාම මාවතේ දෙමහල් නිවසක තනිව විසූ සංගීත ගුරුවරියක අබිරහස් ලෙස මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ මිත්‍රාණි ප්‍රනාන්දු ස්නෙක් නමැති 75 හැවිරිදි විවාහක කාන්තාවකි. පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව එම නිවසට ගිය කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.මියගිය කාන්තාවගේ සිරුර මුළුතැන්ගෙයි බිම උඩුබැලි අතට වැටී තිබී ඇති අතර, මුඛයේ සහ පපු ප්‍රදේශයේ ලේ පැල්ලම් දක්නට ඇතැයි පොලිසිය කියයි.



නිවසේ ට්‍රිප් ස්විචය විසන්ධි වී තිබී ඇති අතර ගෙබිම පිරිසිදු කිරීමේ යන්ත්‍රයේ වයරය දෙකට වෙන්ව තිබී ඇතැයි පොලිසිය කියයි. ඇයට ඒ හරහා විදුලි සැර වැදුණා දැයි සැකයක් මතුවන බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඇයගේ ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ ඉහතදී මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති අතර, ඇය පියානෝ වාදනය සම්බන්ධයෙන් සිය නිවසේම සංගීතවිද්‍යාලයක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.



මියගිය කාන්තාව පදිංචිව සිටි නිවසේ බඩු බාහිරාදිය කිසිවක් ඇද දමා නොතිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම මරණය විදුලි සැර වැදීමක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය පවසයි. කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති තිලක් කුමාර බණ්ඩාර මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. ජයන්ත මහතා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ