colombo-coroner-shortage

කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් නවයක මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකිරීම නිසා විශාල ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරු පවසති.
ඒ අනුව කොස්ගම සාලාව, පිළියන්දල, පාදුක්ක, වෑතර, අතුරුගිරිය ඔරුවල, තලංගම, නවගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල යන රෝහල්වල මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොවන බැවින් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවද ඔවුහු පවසති.



මෙම රෝහල් අතුරින් බොහෝ රෝහල්වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශීතාගාර, පුහුණු සේවකයන්, එම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හිඟකම සහ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති බව නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද අනාවරණය වී ඇත.

මේ අතුරින් රෝහල් කිහිපයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු කාර්ය මණ්ඩලය සිටියද අධිකරණ වෛද්‍ය නිලධාරි හිඟය නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරු පෙන්වා දෙති.

මෙරට රෝහල් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් හයසිය දෙනකු පමණ අවශ්‍යව තිබුණ ද මේ වනවිට සිටිනුයේ අධිකරණ වෛද්‍ය නිලධාරි දෙසීයකට ආසන්න ප්‍රමාණයක් බැවින් මෙම ගැටලු සහගත තත්ත්වය නිර්මාණය වී ඇති බවද එම නිලධාරීහු පෙන්වා දෙති.

පාදුක්ක දිසා රෝහලේ සිදුවන හදිසි මරණයකදී එම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යායුතු වීමෙන්

මරණකරුගේ ඥාතීන්ට විශාල වියදමක් දැරීමටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවත් මේ තත්ත්වයන් නිසා හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට පැමිණෙන ජනතාව මහත් අසරණ භාවයට පත්වන බැවින් මේ පිළිබඳව බලධාරීන් වහා අවධානය යොමුකර කටයුතු කළ යුතු බවද ඔවුහු කියති.

කඩුවෙල-කේ. බුද්ධික කුමාරසිරි