dikwella-incident

දික්වැල්ල පොලිස් වසමේ රත්මලේ මාර්ගය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක වැසිකිළියක් අසල බිම අතහැර දමා ගොස් සිටි අලුත උපන් බිලිඳියක් පෙරේදා (06දා) හමුවී ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි.

විහාරස්ථානයේ සිටින අයෙකු වැසිකිළියට යන අවස්ථාවේදි රැධිරය සහිත රෙදි කඩක ඔතා සිටි බිලිදිය දැක විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමෙන් පසු වහා ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබේ.



එසේම මෙම සිද්ධිය අසල්වාසීන් දැනගැනීමත් සමග එහි පැමිණි විශ්‍රාමික පවුල් සේවා නිලධාරිනියක් දරුවා සුරක්ෂිතව දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් කියයි.

රෝහලේදී කරන ලද මූලික පරීක්ෂණවලට අනුව කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම්300ක් පමණ බර, මාස හතකින් පමණ ඉපදී ඇතැයි අනුමාන කරන මෙම සිගිත්තිය නිරෝගීව සිටින බවට සොයාගෙන ඇත.

අනතුරුව සිගිත්තිය වැඩිදුර පරීක්ෂණ සදහා මාතර රෝහලට මාරුකර යවා තිබේ.

දික්වැල්ල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිගිත්තිය හමුවූ කබරුන් වැනි සතුන් සිටින පරිසරයක පිහිටි එම ස්ථානයට ගොස් පරීක්ෂා කර එහි සිට ලේ පැල්ලම් සහිත අඩි පාරකින් යාබද නිවසකට ගමන් කර තිබේ. එහි කරන ලද පරීක්ෂාවේදී නෑම සඳහා ආවරණය කරන ලද තාවකාලිකව සකස් කර ඇති ස්ථානයක සෝදා හරින ලද ලේ පැල්ලම් නිරීක්ෂණය වීමෙන් අනතුරුව නිවැසියන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇත.

එහි සිටි 19 හැවිරිදි තරුණියක් ඒ ගැන නොදන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසු පොලිස් නිලධාරීනියන් ඇය තම භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි ඇය දරුවකු ප්‍රසූත කර ඇති බවට සොයාගෙන තිබේ. පසුව තරුණිය විසින් එම බිලිඳා තමාගේ බව පිළිගෙන ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එෂාන් චතුරංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් සැරයන් (776 ) තරංගනී,පොලිස් කොස්තාපල් ( 69070) ජීවන්ත, (40532)කාවින්ද , (91162) දුලාජ්, කාන්තා කොස්තාපල් (8767) හංසි යන නිලධාරීහු විමර්ශන සිදුකරති.

 දික්වැල්ල - නිමල් ලන්දගේ