diyagama-ground

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් කෝටි 487ක් වැය කර ඉදිකර ඇති මීටර් 400 කෘත්‍රිම ධාවන පථය භාවිත කළ නොහැකි පරිදි පළුදු වී ඇති බව විගණන වාර්තාවක දැක්වේ.පැරැණි ධාවන පථය පිහිටි ප්‍රේක්ෂකාගාරයේ වහලය ගැලවී ගොස් ඇති බවද එහි සඳහන් වේ.



මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇකඩමියක් හා අන්තර්ජාතික ක්‍රීඩාංගනයක් ලෙස සංවර්ධනය කිරීමට 2017 වසරේ සිට 2022 දක්වා රුපියල් කෝටි 386ක ප්‍රතිපාදන වෙන්කර ගෙන ඇති නමුත් වැය කර ඇත්තේ රුපියල් කෝටි 60ක් පමණක් බව ද එම විගණන වාර්තාවේ දැක්වේ.මෙම ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් තුන්කෝටි හතළිස් ලක්ෂයක් වැය කර ඇති කුඩා ප්‍රේක්ෂකාගාරයේ සියයට 90ක ප්‍රගතියක් ලබා තිබියදී ඉදිකර ගිවිසුම අවලංගු කර ඇති බවද විදුලි ජනක යන්ත්‍ර සවිකිරීමේ ව්‍යාපෘතිය කෝටි තුනක් වැය කර සියයට 65 ක ප්‍රගතියක් ලබා තිබියදී ගිවිසුම අවසන් කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.



මෙම ගැටලු සම්බන්ධයෙන් විගණනය වෙත කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන විගණන නිලධාරී සඳහන් කර ඇත්තේ පැරැණි ධාවන පථය දැනට භාවිතයට නොගන්නා බවය. පැරැණි ප්‍රේක්ෂකාගාරයේ වහලය අලුත්වැඩියාවට 2023 ප්‍රතිපාදන වෙන්කර ඇති බවද විදුලි ජනක යන්ත්‍ර සවි කිරීමේ ව්‍යාපෘතිය කරගෙන යාමේ ප්‍රායෝගික ගැටලුවක් නිසා දෙපාර්ශ්වයේ එකගතාව මත ව්‍යාපෘතිය අවසන් කර ඇති බවද ගණන් දීමේ නිලධාරියා විගණනයට දන්වා ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

 මුදිතා දයානන්ද