driving-licence-for-disables

ආබාධිත ජනතාවටද සාමාන්‍ය රියැදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා තීරණය කර ඇත.මේ අනුව අස්ථි, මස්පිඬු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි නම් එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියැදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආබාධිත අයට රියැදුරු බලපත්‍රය දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් අනුවය.ආබාධිත අයට සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙන මෙරට පළමු අවස්ථාව මෙය බව මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ආබාධිතයන් සඳහා මීට පෙර රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණි. එම වාහන වල අංකය ඇතුළත් කර රියැදුරු බලපත්‍රය නිකුත් කෙරිණි.

මේ අනුව සෑම මාසයකම තුන්වැනි සිකුරාදා රැස්වන ත්‍රිපුද්ගල තාක්ෂණ කමිටුවක් විසින් වේරහැර ප්‍රධාන කාර්යාලයේදී සහ දිස්ත්‍රික් කාර්යාලවලදී ආබාධිතයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කරනු ලැබේ. එම කමිටුවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් පත් කෙරෙන නිලධාරීහු දෙදෙනෙක් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් පත්කෙරෙන වෛද්‍යවරයෙක් ඇතුළත් වෙති.සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල ආබාධිතයන් සඳහා සාමාන්‍ය රියැදුරු බලපත්‍ර ලබාදීම කාලයක් තිස්සේ කෙරෙන හෙයින් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒ පිළිබඳ වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.



මේ අතර තමාගේ මූලිකත්වයෙන් සකස් කෙරුණු ආබාධිත තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. මෙ රටේ ආබාධිතයෝ ලක්ෂ දොළහකට වැඩි පිරිසක් සිටිති. වාහන පැදවිය හැකි ආබාධිතයන්ට සාමාන්‍ය වාහන බලපත්‍රය ලබාගැනීමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.රියැදුරු බලපත්‍ර ලබාදීමේ මෙම නව වැඩපිළිවෙළට අදාළ විශේෂ චක්‍රලේඛයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

සුජිත් හේවාජුලිගේ